රටවල් බියට පත්කළ තැඹිලි පාට හිම වැස්ස
ලොවපුරා විවිධාකාරයේ අසාමාන්‍ය සිදුවීම් වරින් වර වාර්තා වෙනවා. පසුගිය වර්ෂයන්වලදී සහරා කාන්තාරයට දැවැන්ත හිම වැසි අවස්ථා ගණනාවකදීම වාර්තාවීම සැලකෙන්නේද එවන් අවස්ථාවක් ලෙසයි.ශ්‍රී ලාංකිකයන්ට නම් හිම වර්ෂා කියන්නේ බොහොම ආගන්තුක දෙයක්. එහෙත් ලෝකයේ බොහෝ රටවල් හිම වර්ෂාවන් සහිත රටවල් ලෙසයි සැලකෙන්නේ. කෙසේවෙතත් අපට ආගන්තුක වුවද හිමවල පැහැය සුදු පැහැය බව සැවොම හොඳින් දන්නා කරුණක් වෙනවා. එහෙත් නැගෙනහිර යුරෝපයේ හා රුසියාව ඇතුළු රටවල් 4කට තැඹිලි පැහැ හිම වැසි ඇතිවී තිබූ අපූරු වාර්තාවක් 2018 වර්‍ෂයේ දී සිදු වී තිබුනා . අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඒ තැඹිලි පැහැ හිම වර්ෂාව පිලිබදව තොරතුරුයි.
![]() |
Image from Indian Express |
මේ අනුව පර්යේෂකයන් මෙම අසාමාන්‍ය හිම වර්ෂාව පිළිබඳව පරීක්ෂණ කිහිපයක්ම සිදුකළ අතර එහිදී හෙළිව ඇත්තේ වර්ණයේ වෙනසක් පැවතියද මෙහිදී පතිතවී ඇත්තේ සාමාන්‍ය හිම බවයි. මීට පෙර අවස්ථා වලදී සහරා කාන්තාරය අසළ රටවලට තැඹිලි සහ දුඹුරු පැහැති වැසි ඇති වී තිබු අතර ඒ පිලිබඳ සිදුකළ පරීක්ෂණ වලදී හෙළිව තිබුණේ දැඩි සුළං ප්‍රවාහයක් සහරා කාන්තාරය හරහා හමා යාමේදී කාන්තාරයේ වැලි සහ දුවිලි සුළඟට මුසුවී පසුව වර්ෂාව සමඟ ඇද වැටීම මෙම අසාමාන්‍ය තත්වයට හේතු වූ බවයි. ඒ අනුව රුසියාව අවට කාන්තාර කලාපයේ පවතින දුවිලි අංශු දැඩි සුළඟ සමඟ ගුවනට ගමන් කර යළි පතිත වීමක් ලෙසයි ඇතැම් පර්යේෂකයන් මෙම තත්වය හඳුන්වා දෙන්නේ. මෙවන් හිම වැසි ඇතිවීමේදී පෘතුවියට පිටස්තරව පැමිණෙන උල්කාපාත මගින් පැමිණෙන කොටස් ඊට එක්වීමෙන් මෙම වර්ණයේ වෙනසක් සිදුවී ඇති බවටද වාර්තා පළ වෙනවා.
කෙසේවෙතත් නාසා ආයතනය අඟහරු ග්‍රහයා මත පෙනුම පිලිබඳ නිකුත් කර ඇති ජායා රූප සහ මෙම රටවලට පතිත වූ හිම වැස්සෙන් පසු පොළොවේ පෙනෙන තත්වය එක හා සමාන බවයි ප්‍රකාශ වන්නේ. මීට පෙර 2007 වසරේදී පළමු වරට තැඹිලි පැහැති හිම වර්ෂාවක් සයිබීරියාවට පතිත් වී තිබුණා. විද්‍යාඥයින් එම තත්වය පැහැදිලි කරන්නේ හිම කුණාටුවක් මෙම තැඹිලි පැහැති හිම වැස්සට හේතු වූ බවයි. එහෙත් රටවල් 4කට එය නොකඩවා බලපෑම සහ බරපතල හිම කුණාටුවක් පිළිබඳ වාර්තා නොවීම යන කරුණු හේතුවෙන් මෙම අසාමාන්‍ය සිදුවීම පිලිබඳ බොහෝ දෙනෙකු දැඩි බියක් දක්වනවා. ඒ හේතුවෙන්ම ලෝක විනාශයක් පිලිබඳ මතවාදයන් පතුරුවා හරින පිරිස් පවා මෙම සිද්ධිය පිලිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව මෙම තැඹිලි පැහැ හිම වැස්සේ කිසිදු අවදානමක් නොමැති බවද ඔවුන් පැහැදිලි කරනවා. එහි කිසිදු රසායනිකයක් හෝ හානිකර ජීව විශේෂයකගේ බලපෑමක් නොමැති බැවින් තැඹිලි පැහැ හිම වැස්ස බියක් ඇති කර ගැනීමට හේතුවක් නොවන බවයි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ.
No comments