Headlines

සුන්දර නවසීලන්තයට සංචාරයක්



ලංකාවේ ගොඩක් දෙනාගෙන් තමන් යන්න කැමතිම රට මොකද්ද කියල  ඇහුවොත් දෙන පිළිතුර  තමයි නවසීලන්තය. නවසීලන්තය කියන්නේ ඉතා නිදහස් වගේම සාමකාමී රටක්. ඒ වගේම් නවසීලන්තය ලෝකයේ ආරක්ෂිතම රටවල් අතරින් එකක් . නවසීලන්තයේ අපරාධ අනුපාතය අඩු අගයක  පවතියි 



නවසීලන්තය පිහිටා ඇත්තේ දකුණු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවට කිලෝමීටර 1600 ක් පමණ ගිණිකොණට වන්නටයි. උතුරු හා දකුණු වශයෙන් ප්‍රධාන දූපන් 2 කුත්, තවත් කුඩා දූපත් රාශියකුත් එක්ව සෑදී ඇති නවසීලන්තයෙහි අගනුවර වන වෙමින්ටන් හා විශාලම නගරය වන ඕක්ලන්ඩ් යන නගර දෙකම පිහිටා ඇත්තේ උතුරු දූපතේයි.

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 267,710 ක භූමියකට උරුමකම් කියන නවසීලන්තයෙහි 4,718 ,905 දෙනා ජීවත් වන අතර එහි ජන ඝණත්වය වර්ග කි.මි 1කට 18 ක් තරම් අඩු අගයක් ගන්නවා. නවසීලන්තය කිරි කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධියක් උසුළන අතර එහි මිනිසුන්ට වඩා හරකුන් ජීවත්වනවා.

නවසීලන්තය ඉතා දැඩි භූ විෂමතාවලින් යුතු භූමියකට උරුමකම් කියනවා. ගිනිකඳු, ගල්ගුහා, හිමෙන් වැසීගත් දකුණු ඇල්ප්ස් ගිරි ශිඛර, ග්ලැසියර, විල්, දිගු වෙරළතීරවලින් ගහණ මෙහි ඉතාම හොඳින් වැඩුණු වන වැස්මක් තිබෙනවා. නවසීලන්තයේ ජාතික සත්ත්වයා වන කිවි ඇතුළු සත්ත්ව හා පක්ෂි විශේෂ ගණනාවක්ම මෙහි ජීවත් වෙනවා.

නවසීලන්තයේ ලිඛිත ඉතිහාසයට අනුව ක්‍රි.ව1200- 1300 අතර කාලයේදී මඔරිවරුන් මෙහි පැමිණි පළමුවෙන්ම ජනාවාස ඇති කරගෙන තිබෙනවා. නවසීලන්තයට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ 1642 වසරේදී මෙහි පැමිණි ලන්දේසි දේශ ගවේෂක අබෙල් ටස්මන් නැමැත්තායි. ක්‍රි.ව 1769 දී කපිතාන් ජේම්ස් කුක් ගොඩබැසීමත් සමඟ යුරෝපියයන් අතර ජනප්‍රිය වූ මේ දූපත් රාජ්‍යයට කෙමෙන් කෙමෙන් යුරෝපීයයන් ඇදී එන්නට වූ අතර ක්‍රි.ව 1840 දී මඔරි වරුන් හා ඇති කරගත් වයිටැන්හි ගිවිසුමෙන් මෙහි පාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පැවරෙන 19 වන සියවසේ මැද භාගය වන විට නවසීලන්ත භූමියෙන් රත්‍රන් ඉල්ලම් සොයා ගැනීමත්, කිරි පට්ටි කර්මාන්තය දියුණු වීමත් නිසා වැඩි වැඩියෙන් යුරෝපීයයන් නවසීලන්තයට සංක්‍රමණය වුණා. 1907 වසරේදී බ්‍රිතාන්‍ය කීටයෙන් ඩොමිනියන් නිදහස හා 1947 පාර්ලිමේන්තු බලතල ලද මෙම රාජ්‍යය 1893 වසරේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමත් සමඟ එසේ කළ ලොව ප්‍රථම රට බවට පත් වුණා.

නවසීලන්තය බහු වාර්ගික රටක් ලෙස හඳුනාගත හැකියි. ක්‍රි.ව 2013 ජන සංගණනයට අනුව 71.2% ක් පමණ සුදු ජාතික යුරෝපීයයන් මෙහි වෙසෙන අතර 14.1% ක් පමණ ස්වදේශික මසිරි ජහතාවද 11.3% පමණ වූ ආසියාතිකයන්ද වෙසෙනවා.මෙහි 7.5%ක් පමණ අනෙකුත් පැසිෆික් දූපත්වලින් මෙහි සංක්‍රමණය වී ඇති අතර 10,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද මෙහි වෙසෙනවා. එය නවසීලන්තයේ සම්පූර්ණ ජනගහනයෙන් 0.2% පමණ වෙනවා.

 නවසීලන්තය ගැන තවත්  වැඩිදුර තොරතුරු සමඟින් මෙම ලිපියේ දෙවෙනි කොටස සමඟ නැවත හමුවෙමු 

තොරතරු සහ ඡායාරුප අන්තර්ජාලයෙන් 
සැකසුම BLUEPLANET 


No comments