Headlines

සමාජ ජාලා සමග අතරමං වෙලාද ?-ඔබේ දරුවා වෙනුවෙන් කියවිය යුතුම විශේෂාංග ලිපියකි



 

ෆේස්බුක් රැකගත් රහසක් හෙළිවෙයි

නව යොවුන් වියේ පසුවන්නන්ට සමාජ මාධ්‍ය විසින් සිදුකරනු ලබන බලපෑම පිළිබඳව ෆේස්බුක් සමාගම සමීක්ෂණයක් කර තිබේ.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල රහසිගතව තබා ගැනීම පිළිබඳව දැඩි විවේචන එල්ල වී ඇත.

ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය හේතුවෙන් මානසික අවුල්සහගත බව හෙවත් සාංකාව (anxiety) සහ මානසික අවපාතය හෙවත් විෂාදය (depression) තමන්ට ඇතිකරවන බවට නව යොවුන්වියේ සිටින්නන් චෝදනා කරන බව එම අධ්‍යයන වාර්තාවෙන් පෙනී ගොස් ඇතැයි 'Wall Street Journal' නමැති සඟරාව පවසයි.

මෙම තොරතුරු සඟවාගෙන සිටීම පිළිබඳව අදහස් දැක්වූ සමාජ ක්‍රියාධරයන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටින්නේ අදාළ සමාගම සිය ලාභය ගැන පමණක් සිතා කටයුතු කර ඇති බවය.

ඉන්ස්ටග්‍රෑම් අයිතිය ෆේස්බුක් සමාගම සතුය.

මෙවැනි සමීක්ෂණයක් සිදුකිරීම තුළින්, "සංකීර්ණ සහ දුෂ්කර කරුණු පිළිබඳව වටහා ගැනීමට පවතින කැපවීම" තම සමාගම පෙන්නුම් කර ඇතැයි ඉන්ස්ටග්‍රෑම් ආයතනය පැවසීය.

කෙසේ නමුත්, Wall Street Journal හි පලවී ඇති පහත සඳහන් සොයාගැනීම් ෆේස්බුක් සමගම විසින් ප්‍රතික්ෂේප කර නොමැත.

2019 දී ඉදිරිපත් කළ රූ සටහනක මෙසේ දැක්වේ: "සෑම නව යෞවනියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට, සිරුරේ පෙනුම පිළිබඳව පවතින කරුණු අප විසින් වඩාත් නරක තත්ත්වයකට පත් කරනු ලැබේ."

සාංකාව සහ විෂාදය ඉහළ මට්ටමකට පත්කරවන බවට නව යෞවන වියේ පසුවන්නන් ඉන්ස්ටග්‍රෑම් ජාලයට චෝදනා කර තිබේ යැයි තවත් රූ සටහනක දැක්වේ.

2020දී සමීක්ෂණයකට භාජනය වූ නව යෞවනියන්ගෙන් 32%ක් පවසා ඇත්තේ තම සිරුර ගැන අප්‍රසාද ජනක හැඟීමක් ඇතිවූ අවස්තාවක දී ඉන්ස්ටග්‍රෑම් මගින් එම තත්ත්වය වඩාත් නරක මට්ටමකට පත්කරවනු ලබන බවය.

සමීක්ෂණයට භාජනය වූ බ්‍රිතාන්‍ය යෞවනියන්ගෙන් 13%කට සහ එක්සත් ජනපදයේ යෞවනියන් 6%කට ඉන්ස්ටග්‍රෑම් නිසා දිවි නසා ගැනීමේ චේතනාව යම් මොහොතක හෝ පහළ වී ඇත.

ඉදිරියේදී සිදු කරනු ලබන සමීක්ෂණ වඩාත් විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට ද සමාගම ප්‍රතිඥා දී තිබේ

වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලකොට තිබෙන වාර්තාවට ප්‍රතිචාරයක් ලෙස තම සමීක්ෂණය පිළිබඳව ඉන්ස්ටග්‍රෑම් විසින් දීර්ඝ බ්ලොග් සටහනක් තබා ඇත.

එහි සඳහන්කොට ඇත්තේ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාව විසින්, "සමීක්ෂණයේ සීමිත ප්‍රතිඵල ගොන්නක් පමණක් කේන්ද්‍ර කර ගනිමින් ඒවා නිශේධාත්මක ලෙස වාත්තු කොට" ඇති බවය. කෙසේ නමුත් මෙම කාරණය මීට වඩා අතිශය සංකීර්ණ බව ඉන්ස්ටග්‍රෑම් පවසයි.

"අයුතු හිරිහැර, දිවිනසා ගැනීම්, තමන්ටම හානි පමුනුවා ගැනීම් සහ අහාර අක්‍රමිකතා පිළිබඳව පුළුල් ලෙස කටයුතු කරමින් සෑම කෙනෙකුටම ඉන්ස්ටග්‍රෑම් ආරක්‍ෂිත සහ සහයෝගය ලබාදෙන ස්ථානයක් කිරීමට අප ක්‍රියා කර තිබේ," යනුවෙන් එම සමාගම සඳහන් කර තිබේ.

"අපගේ සමීක්ෂණ සහ විශේෂඥ උපදෙස් පාදක කරගනිමින් සෑම කෙනෙකුටම තෝරාගැනීම් (options) ලබා දී ඇත," යනුවෙන් ද එහි සඳහන්ය.

එමෙන්ම, ඉදිරියේදී සිදු කරනු ලබන සමීක්ෂණ වඩාත් විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට ද සමාගම ප්‍රතිඥා දී තිබේ.

'හානිය ඉදිරියේ ලාභය'

Credit Dreamstine 
නමුත්, ළමා හිංසනය වලක්වාගැනීමේ ජාතික සංසදයේ, අන්තර්ජාල ළමා ආරක්ෂණ අංශයේ ප්‍රධානි ඇන්ඩි බරෝස් කියා සිටියේ ලැබී තිබෙන සාක්ෂි පදනම් කරගනිමින්, හානිය වලක්වාගැනීම සඳහා කටයුතු නොකිරීම ඉතා ඛේදජනක බවයි.

"සමාජ ජාල අඩවිය ආරක්‍ෂිත ස්ථානයක් කිරීම සඳහා කටයුතු කරනවා වෙනුවට ඔවුන් කරන්නේ සමීක්ෂකයන්ට, නියාමකයන්ට සහ රජයට බාධා කරමින් එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ඔප්පු කිරීම සඳහා මහජන සම්බන්ධතා සහ ප්‍රචාරක මෙහෙයුම් දියත් කිරීමයි." ඔහු පැවසීය.

දරුවන්ට ජංගම දුරකතන සහ ටැබ් දීම ගැන අලුත් ම වෛද්‍ය මතය

මරණයෙන් පසු ඔබේ 'ඩිජිටල් දේපළට' සිදු වන්නේ කුමක් ද?

ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තාක්ෂනය කෙතරම් දුරට නියාමනය කළ යුතුද යන්න පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානත්වය දරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේමියන් කොලින්ස් පවසන්නේ "වගවීම සඳහා ඔවුන් යොමු කිරීමට" කාලය එළැඹ ඇති බවය.

"මේ සමාගම, හානියට වඩා ඉදිරියෙන් ලාභය තබාගෙන කටයුතු කරන ආකාරය, වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් සිදු කරනු ලැබ ඇති විමර්ශනයෙන් හෙළිදරව් කර තිබෙනවා." ඔනු ප්‍රකාශ කළේය.

"තමන්ගේම සමීක්ෂණයෙන් ම ඔප්පුවෙලා තියෙනවා ඉන්ස්ටග්‍රෑම් නිසා යෞවන වියේ පසුවන්නන් විශාල ප්‍රමාණයකට ඔවුන් පිළිබඳව අයහපත් හැඟීමක් ඇතිකරවන බව. නමුත් එම පිරිස නැවත නැවතත් එම අඩවියට ගෙන්වා ගැනීමට සමාගම කටයුතු කර තිබෙනවා."

පෙර සමීක්ෂණයක තතු

සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'ඉන්ස්ටග්‍රෑම්' බව 2017 දී සිදුකළ සමීක්ෂණයකින් ද හෙළිවී තිබුණි.

මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ. 

            Image Mobcup

සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.

එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.

දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සබඳතාවක්...

සමීක්ෂණයට සහභාගී වූ අයගේ බහුතර මතය, ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බවය.

කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍යය භාවිතා කරන්නන්ගේ ආරක්‍ෂාව ප්‍රමුඛකොට සලකන බවය.

අන්තර්ජාලයට යන දරුවා ගැන අනතුරු ඇඟවීමක්!

අසභ්‍ය ලිංගික දසුන් නැරඹීම ජීවිතයට බලපාන හැටි 

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

කෙසේ නමුත්, තම දරුවන් ආරක්‍ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා දෙමාපියන් ගත යුතු පියවර කිහිපයක් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 2019දී නිර්දේශ කර තිබුණි.,රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේ දී සහ නින්දට යන විට දී ජංගම දුරකතන හෝ එවැනි උපකරණ භාවිත නොකිරීම: පවුලක් ලෙස එකට එක් වී කතා බස් කිරීම ළමුන්ගේ වර්ධනය සඳහා ඉතා වැදගත් වේ. ( image credit Healthcare )

නිදන වේලාවේ දී ඩිජිටල් තිර සහිත උපකරණ නිදන කාමරයෙන් ඉවත් කර තැබීම.

අන්තර්ජාලය ආරක්‍ෂිතව පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවිය හැකි මානසික හිරිහැර (cyber-bulling) පිළිබඳව පවුලේ සියලු දෙනා එක්ව සාකච්ඡා කිරීම: එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කළ යුතු වේ.

පාර හරහා පැනීම හෝ සම්පුර්ණ අවධානය අවැසි එවැනි වෙනත් ක්‍රියාකාරකමක් කිරීමේ දී ජංගම දුරකතනය භාවිතා නොකිරීම.

පැය දෙකකට වරක් දරුවා තිරයෙන් ඉවත් කර අසුනෙන් නැගිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම.

සමාජ ජාලා පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම: දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සබඳතාවක් ගොඩනගා ගත යුතුය.

(බීබීසීයේ තාක්ෂණික වාර්තාකාරිනි ජේන් වේක්ෆීල්ඩ් ගේ වාර්තාවක් ඇසුරෙනි.) 

උපුටාගැනීම BBC සිංහල 

No comments