Headlines

අතීතයේ පැවතී දරුණු දඬුවම් ක්‍රම

නිකමට මෙහෙම හිතන්න. ඔයා යුරෝපයේ ලස්සන රටක සවස් යාමයේ පාරක ඇවිදිමින් ඉන්නවා. එකපාරට ම මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා ඔයාව පැහැරගෙන ගිහිල්ලා හිර කූඩුවක දානවා. නඩුවක් ඇහුවත් ඔයාට වැඩියෙන් කතාකරන්න ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා පැහැරගෙන ගිය අය තීරණය කරනවා ඔයාට දඬුවම් කරන්න. මට අමතක වුනා කියන්න, ඔයා ඉන්නේ වර්තමානයේ නෙමේ 14 වෙනි සියවස තරම් ඈත කාලයේ. ලෝකයෙන් සැලකිය යුතු පිරිසක් පෘතුවිය පැතලියි කියලා විශ්වාස කරපු කාලයක් මේක. ඒ නිසා සාධාරණ නඩු විභාගයක් කෙසේ වෙතත් ඒ නඩු අහපු අයට අවශ්‍ය වුනේ ඒ අයගේ චෝදනාවන් චූදිතයා පාපෝච්චාරණය කරනවා අහන්න.

එහෙම පාපෝච්චාරණයක් අහන්න ලෝකය පුරා විවිධ කාල වල දී විවිධ මිනිස්සු විවිධ ක්‍රම භාවිතා කරා. මේ ක්‍රම වලට තමා වධහිංසා කියන්නේ. ලෝක ඉතිහාසය පුරාවට ක්‍රැර හා කලාත්මක වධහිංසා රැසක් ජාති බේද නොතකා නිමැවුනා. අද සටහනෙන් කියන්නේ එහෙම ක්‍රම කිහිපයක් ගැන.

යුරෝපය පුරාවට මිනිස්සුන්ගේ පාපෝච්චාරණ අහන්න භාවිතා කරපු ප්‍රකට ක්‍රමයක් තමා ‘යකඩ තරුණිය’ කියන්නේ. යකඩ තරුණිය කියන්නේ මිනිසෙක්ගේ ශරීර ප්‍රමාණයට යකඩෙන් නිමැවුනු පෙට්ටියක්. මේ පෙට්ටිය ඇතුලේ යකඩෙන් හදාපු උල් තියෙනවා. පාපෝච්චාරණයක් අහන්න අවශ්‍ය වුනාම කරන්නේ අදාළ පුද්ගලයාව මේ පෙට්ටිය ඇතුලට දාලා වහනවා.

පෙට්ටිය වහපු හැටියේ පෙට්ටිය ඇතුලේ තියෙන උල් යකඩ කටු ශරීරය හරහා ගිහින් පුද්ගලයා එකවර මියයන්නේ නැහැ. ඒ වෙනුවට හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පුරාවට කුඩා තුවාල ඇති කරනවා. මේ තුවාල වලින් පුද්ගලයෙක් එකවර මියයන්නේ නැහැ. ඒ නිසා දඬුවම විඳින පුද්ගලයා ඇහැරගෙන ඉන්න තාක් කල් ලොකු දෙයක් වෙන්නේ නැහැ.

නමුත් හිතන්න එකම ඉරියව්වෙන් පැය දහයක් විස්සක් විතර ඉන්නකොට. ඒ විතරක් නෙමේ ශරීරයෙන් ටික ටික රුධිරය පිටවෙන නිසා ශරීරයේ ශක්තියක් ක්‍රමයෙන් හීන වෙනවා. පැය ගණනාවක් ඉකම ඉරියව්වෙන් හෙලවෙන්නෙවත් නැතුව ඉන්නකොට කකුලේ මාංශ පේෂි අකර්මන්‍ය වෙන්න පටන් ගන්නවා. දැන් යකඩ තරුණිය තුල ඉන්න පුද්ගලයාට කෙලින් හිටගෙන ඉන්න අමාරුයි. එතකොට ඒ පුද්ගලයා හෙලවෙන්න ගන්නවා. අන්න ඒ සුළු සෙලවීමකින් පෙට්ටිය ඇතුලේ තියෙන යකඩ උල් වලින් පුද්ගලයාට වෙන හානිය වැඩි වෙනවා.

අධික රුධිර වහනයත් මහන්සියත් නිසා දඬුවම විඳින පුද්ගලයාට පෙට්ටිය ඇතුලේ නින්ද යන්න පුලුවන්. එහෙම නැත්නම් කලන්තේ දාන්න පුලුවන්. එහෙම වුන හැටියේ ආයෙමත් පෙට්ටියේ යකඩ උල් ඇඟේ ඇනෙනවා. ඒ වේදනාවට ආපහු ඇහැරෙනවා. නැවතත් නැවතත් නැවතත් මේ දේ දිගින් දිගටම පැය ගැනනාවක් පුරාවට සිදු වෙනවා. මේ ක්‍රමයේ දී පාපෝච්චාරණය කලේ නැත්නම් ඒ පුද්ගලයා අතිශය දරුණු විදිහට විඳවලා මැරෙන්නේ.

යකඩ තරුණියගේ ක්‍රමයේ දී කෙනෙක්ගේ පාපෝච්චාරණය අරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඒක ඉක්මන් ක්‍රමයක් නෙමේ. මේ නිසා ක්‍රි.පූ. 200 දී පමණ චීනයේ දී අපූරු දඬුවම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ තමා යටිපතුල කිති කැවීම. බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනට මේ කිති කැවීම අයත් වෙන්නෙත් දරුණු දඬුවම් ක්‍රම යටතට

චීන ජාතිකයෝ පළමුවෙන් ම දඬුවම විඳින පුද්ගලයාව මේසයක තියලා තදින් ගැටහනවා. ඊට පස්සේ කකුලේ යටි පතුලේ ලුණු ද්‍රාවණයක් ගල්වනවා. ඊටත් පස්සේ පුද්ගලයාගේ යටිපතුල යාවට අරගෙන එනවා එළුවෙක් ව. මේ එළුවා යටිපතුලේ තියෙන ලුණු ලෙවකන්න පටන් ගන්නවා. මුලදී නම් හිනා වෙවී ඉන්න පුලුවන්. නමුත් හිතන්න මේ විදිහට එක දිගට පැය තුනක් විතර කරන්න ගත්තම. අපේ කකුලේ ස්නායු අග්‍ර ආසන්න වශයෙන් 200,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. පැය තුනක් පුරාවට මේ සියල්ල එකවර උත්තේජන වෙන්න ගත්තම පුද්ගලයා මියයන්න වුනත් පුලුවන්. මේ දඬුවම් ක්‍රමය චීනය පුරා වසර දෙදහසකට ආසන්න කාලයක් ක්‍රියාත්මක වුනා. එහෙම වෙන්නේ මේ ක්‍රමයේ යම්කිසි ප්‍රතිපලයක් තියෙන නිසානේ.

චීනය විවිධාකරයේ දඬුවම් ක්‍රම හොයාගත්ත රටක්. අතීත චීනයේ උණ පඳුරු භාවිතා වුනු දඬුවම් ක්‍රමයක් තිබුනා. මේ දඬුවමේ දී අලුත වැඩෙන උණ පදුරක මුදුන කපලා උල් කරනවා. ඊට පස්සේ උණ පඳුර උඩ දඬුවම ලබන පුද්ගලයාව තියලා බඳිනවා. උණ පඳුරක් වැඩෙන කාලයේ සාමාන්‍යයෙන් දවසකට අඟල් 3ක් 4ක් විතර උස යනවා. උණ පඳුර උඩ මේ පුද්ගලයාව ගැට ගහලා තියෙන නිසා ඒ පුද්ගලයාගේ ඇඟ තුලින් ටිකෙන් ටික උණ පඳුර ගමන් කරනවා.

අවසාන වශයෙන් තව එක දඬුවම් ක්‍රමයක් කියලා මේ සටහන අවසන් කරන්නම්. චීනය ගැන කතා කරනකොට මොංගොලියානුවන්ව අමතක කරන්න බැහැ. ආසියානු කාලාපයේ මොංගෝලියාව සහ කිර්ගිස්ථානය වගේ ප්‍රදේශ වල දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක වුනා ‘ශිරි’ කියලා. මේ ශිරි දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක වුනේ සුවච කීකරු වහලුන්ව නිර්මාණය කරන්න. පළමුවෙන් ම දඬුවම ලබන පුද්ගලයාගේ හිසේ කොණ්ඩය සම්පූර්ණයෙන් ම කපලා ඉවත් කරනවා. එක කෙස් ගහක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඊට පස්සේ කාන්තාරයක් මැද්දේ කුරුසයක් හැඩේට අත පය ලී කනු වල ගැටගහලා ගිනි අව්වේ කාන්තාරේ පොලොවේ හරහට තියලා තියෙනවා.

එතනින් නවතින්නේ නැහැ. ඔටුවෙක්ගේ හමක් අරගෙන තට්ටේ ගාපු පුද්ගලයාගේ ඔලුව වටේ ඔතලා තදට ගැටගහනවා. දැන් මේක එතරම් බරපතල දඬුවම් ක්‍රමයක් කියලා කෙනෙක්ට බැලූ බැල්මට හිතෙන්නේ නැහැ. නමුත් දඬුවම පටන් ගන්නේ දවසකට විතර පස්සේ. කාන්තාරයේ ඉන්නකොට මේ අයට කන්න බොන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩ දෙනෙක් කන්න බොන්න නැතුව මැරෙනවා. කාන්තාරයේ මේ විදිහට දවසක් විතර ඉන්නකොට ඔලුව වටේ තදකරලා ගැටගහපු ඔටු හම හැකිලෙන්න පටන් ගන්නවා. කොච්චර තදට හැකිලෙනවද කියනවා නම් මේ පුද්ගලයාගේ හිසෙන් කොණ්ඩය උඩට එන්නේ නෑ. ඒ තරමට ම ඉඩ නැහැ ඔටු හමට තද වෙලා නිසා. මේ නිසා කොණ්ඩය හිස ඇතුලට වැවෙනවා.

මේ වේදනාව දරා ගන්න අමාරුයි. ගොඩ දෙනෙක් මියයනවා. ජීවත් වෙලා හිටියත් ඒ අයගෙනුත් බහුතරයක්ට මතකය නැති වෙනවා. මේ දඬුවම් ක්‍රමයෙනුත් නොමැරී ඉන්න කිහිප දෙනාව වහල්ලු විදිහට තෝර ගන්නවා. එයාලා කවදාවත් තමන්ගේ ස්වාමියා කියන දෙයින් පිට දෙයක් කරන්නේ නැති සුවච කීකරු වහල්ලු බවට පත් වෙනවා.

උපුටාගැනීම -අන්තර් ජාල ලිපියකින්
ඡායාරූප - අන්තර්ජාලයෙන්
ලිපියේ පළමු හිමිකරුට ප්‍රණාමය
BLUEPLANET-


No comments