වසූරිය හා උඩරට නිරෝධායනය
කරලියැද්දේ බණ්ඩාර රජතුමා උඩරට පාලනය කරමින් ඉන්නකොට සීතාවක පාලකයා වුනු පලමු රාජසිංහ රජතුමා උඩරටට පහර දෙනවා. මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල හිටියේ පෘතුගීසීන්. ඒ නිසා කරලියැද්දේ බණ්ඩාර රජතුමා තමන්ගේ දුව වුනු කුසුමාසන දේවිය යි කරලියැද්දේ බණ්ඩාරගේ බෑණා වුනු යමසිංහ බණ්ඩාරත් එක්ක පෘතුගීසීන් වෙතට යනවා ආරක්ෂාව සදහා. පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට කරලියැද්දේ බණ්ඩාර රජතුමා මියයන්නේ වසූරිය රෝගය වැළදිලා. රජතුමා පමණක් නෙමේ මුහුදුබඩ ප්‍රදේශවල බොහෝ දෙනෙක් මියයනවා වසූරියෙන්. රාජාවලියේ සදහන් ආකාරයට රජතුමාගේ බිසවත් මෙම වසංගතයෙන් මියයයි.
මේ වසංගතය කොයි තරම් මුහුදුබඩ පැතිරුනාද කිව්වොත් 1599 වෙනකොට මුහුදුබඩ හිටපු සමහර පෘතුගීසීන් ලංකාවෙන් යනවා. මේ කාලය වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජේසු නිකායික පූජකවරු හිටියා. මේ පූජකවරු වසූරිය වැළදුනු රෝගීන්ට බෙහෙත් හා ආහාරපාන බෙදාදීමේ කටයුතු වලත් නිරත වෙලා තියෙනවා.
මීට ටික කාලෙකට පස්සේ උඩරට රජකමට පත්වෙන්නේ දෙවන රාජසිංහ රජතුමා. මේ රජතුමාට ලන්දේසීන්ගේ උදව් ඇතිව මුහුදුබඩ හිටපු පෘතුගීසීන්ව ලංකාවෙන් නෙරපන්න හැකියාව ලැබෙනවා. ඉන්පසු ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ වල වෙළදාමේ නිරත වෙනවා. ලන්දේසීන්ට අවශ්‍ය වෙන්නේ නැහැ උඩරට රජතුමාත් සමග ප්‍රශ්නයක් ඇතිකරගන්න. මේ නිසා සියවසක් පමණ ලන්දේසීන් රජතුමා සමග හිතවත්වයි ඉන්නේ. රජතුමාට ලියුම් ලියනකොට ලන්දේසීන් “ඔබතුමාට සේවය කරන සුවච කීකරු සේවක” වැනි වදන් භාවිතා කරා. ඒත් එක්කම රජතුමාත් “මට සේවය කරන හිතවත් ලන්දේසි ජාතිය” වැනි යෙදුම් ලියුම් ලිවීමේ දී භාවිතා කරා.
මේ කාලයේ දී ලන්දේසීන් රජතුමාත් සමග වෙළදාම් ගැන කතා කිරීමටයි රජතුමාට තෑගි බෝග ලබාදීමටයි උඩරටට පැමිණෙන්න ගත්තා. යුරෝපයේ වසූරිය රෝගය පැතිරීමත් ලන්දේසීන් අන්තර්ජාතිකව වෙළදාමේ නියැලීමත් නිසා ලන්දේසීන් උඩරට රජතුමා සමග හමුවීම් රාජධානියේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවන බවට රාජ සභාවට තේරුනා.
මහනුවර රාජධානිය අවට රජතුමාට හා රජවාසලේ නිළධාරීන්ට නවාතැන් ගැනීමට විවිධ ස්ථානවල තානායම් තිබුනා. සීතාවක, ඉද්දමල්පාන සහ අට්ටාපිටිය වගේ ස්ථානවලයි මේ නවාතැන් තිබුනේ. උඩරටට එන විදේශිකයින්ව මේ ස්ථාන වල නතර කරලා නිරෝධායනය කරන්න උඩරැටියන් කටයුතු කරනවා. නමුත් ඔවුන් විදේශිකයන්ට කියන්නේ නැහැ නිරෝධායනය කරන වගක්. ‘රජතුමා දැන් මාලිගාවේ නැහැ. එන්න ටිකක් කල් යයි’ වගේ දේවල් කියලයි අර තානායම් වල විදේශිකයන් ව නතර කලේ.මේ එන විදේශිකයන් අතර ඉන්නවා ජොහාන් හෙයිඩ් කියන ජර්මන් ජාතිකයෙක්. ඔහු 1744 දී ලංකාවේ දී තමන් ලද අත්දැකීම් අලලා Heydt’s Ceylon නමින් කෘතියක් රචනා කරනවා. ඒ කෘතියේ ඔහු සදහන් කරනවා අට්ටාපිටිය නම් ස්ථානයේ පිහිටි තානායමේ තානාපතිවරයා ඇතුලු පිරිස දවස් 14ක් සිටියා කියලා. හැම කෙනෙක්ව ම සති දෙකක් නිරෝධායනය කලේ නැහැ. සමහරුන්ව සති තුනක් පහක් නිරෝධායනය කරන්න ගත්තා.
මේ නිරෝධායන කටයුතු කලේ උඩරටට මේ රෝගය පැතිරීමට ඉඩ නොදී රජතුමාව ආරක්ෂා කරන්න. කෙසේ නමුත් ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා 1805 ලියූ ලියුමක සදහන් වෙනවා ලංකාවේ අන්තිම රජතුමා වුනු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට වසූරිය වැළදී ඇති බවක්.
1816 දී ලංකාවේ වසූරිය රෝගය මඩින්න එන්නතක් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ගෙනවා. ලංකාවේ හිටපු ඉංග්‍රීසි ජාතීන් මේ එන්නත ලබාගත්තත් ලාංකිකයෝ මේ එන්නතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා ඉංග්‍රීසීන් ලංකාවේ උන්නු ප්‍රභූවරුන්ට මේ එන්නත පිලිගැන්වූවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවත් ඒ ප්‍රභූවරුන්ව අනුගමනය කරලා එන්නත විදගනියි කියලා හිතුවා. නමුත් එයත් සිදුවුනේ නෑ. මේ නිසා කැප්පෙටිපොල දිසාව ඉදිරිපත් වෙනවා රදලයින් අතරින් පලමු එන්නත විදගන්න. ඔහු ඒ ක්‍රියාව සිදුකල නිසයි අනෙක් අයත් එන්නත විදගත්තේ
උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවූ ලිපියකිනි.
ඡායාරුප අන්තර්ජාලයෙනි
ලිපියේ මුල් හිම්කරුට ප්‍රණාමය
No comments