Headlines

ජපානයේ වර්ක් එතික්ස්




 ජපානයේ වර්ක් එතික්ස් කීපයක්

1. යක්කු වගේ වැඩ​. වැඩ කරන්නෙ පුදුම උද්‍යෝගයකින් (ජපන් බාසාවෙන් ගිව්වොත් "ගෙංකි" බවකින්).

2. වැඩ කරද්දි තියෙන්නෙ මාර මානසික ඒකාග්‍රතාවයක්. අපි වගේ (මම මේ දැනුත් කරනව වගේ) පැය බාගයක් වැඩ කරල පැය කාලක් ෆේස්බුක් එකේ කොටන්නෙ නෑ. ජපානයේ පොඩී දරුවන්ට මානසික ඒකාග්‍රතාවය පුරුදු කරන්න පොඩි කාලෙ ත්‍රිපිටකය පිටපත් ලියන්න දෙනවලු.

3. වැඩ කරද්දි මාර ක්‍රමානුකූලයි. වැඩේට බහින්න ඉස්සෙල්ල ප්ලෑන් එකක් ගහ ගන්නව​. ඊට පස්සෙ සම්මත ක්‍රමවේදයන්ට අනුකූලව ඉතාමත් ක්‍රමානුකූලව වැඩේ කරන්නෙ. අපි වගේ එවෙලෙට හිතෙන විදිහට වැඩ කරන්නෙ නෑ. ඒ වගේම බොහෝ වැඩ සඳහා සම්මත ක්‍රමවේදයන් ගොඩ නංවල තියෙනව​. අළුත් වැඩ ආවොත් ඒකටත් සම්මත ක්‍රමවේදයක් ගොඩනංවන්න උනන්දු වෙනව​.

4. රෑ වෙනකං වැඩ​. වැඩක් බාගෙට කර කර ඉද්දි ඕෆ් වෙන වෙලාව ආව කියල ඒක නවත්තල ගෙදර යන්නෙ නෑ. ඉවර කරලම තමයි යන්නෙ (හැබැයි ලංකාවෙ වගේ නෙවෙයි ජපානෙ ඕන රෑක ගෙදර යන්න වාහන තියෙනව​). මේක හැබැයි ජපානයේ සමහර සමාගම් වලට ප්‍රශ්නයක් වෙලා. ඒ ගොඩක් එවුන් රෑ වෙනකං වැඩ කරන නිසා අධික ලයිට් බිලක් එන නිසා. ඒ නිසා බදාදට අනිවා 5 ට ඕෆ් වෙන්න ඕනෙ කියල සමහර ඔෆිස් වල නීතියක් තියෙනවා.

5. උදේට වැඩ පටන් ගන්නෙ විනාඩි 15ක් ව්‍යායාම කරල​. (හැම ඔෆිස් එකේම නෙවෙයි)

6. දවල් කෑමෙන් පස්සෙ විනාඩි 30ක් මියුසික් ප්ලේ කරනව​. කැමැති එවුන්ට එළිමහනේ නටන්න පුළුවන්. (හැම ඔෆිස් එකේම නෙවෙයි)

7. වැඩ කරන අතරෙ නිදිමතක් ආවොත් සීට් එකේම පොඩි නින්දක් දාන්න පුළුවන්. නිදිමතේ වැඩ කරනවට වඩා පොඩ්ඩක් නිදා ගන්න එක හොඳයි කියල සලකන්නෙ.

8. සාමාන්‍යයෙන් 5 ට ඕෆ් ටයිම් එක තියෙනව නං එකෙක්වත් 5ට යන්නෙ නෑ. 6 විතර වෙද්දි එකා දෙන්න යන්න පටන් ගන්නව​. 7 විතර වෙද්දිත් බාගයක් විතර ඉන්නව​. හැබැයි 7න් විතර පස්සෙ ගොඩ දෙනෙක් ගෙ අර යක්කු වගේ වැඩ කරන ගතිය නෑ. ඊ මේල් චෙක් කරනව වගේ පොඩි පොඩි වැඩ කරන්නෙ. කෝපි බොන්න​, සිගරට් ගහන්න එහෙම බ්‍රේක් ගන්නව​. හොඳට බැලුවම තේරෙනව ඇත්තෙන්ම මුං කරන වැඩක් නෑ කියල​. මුලදි මට මේක ලොකු ප්‍රශ්නයක් වුනා - ඇයි ගෙදර නොයා ඉන්නෙ කියල​. පස්සෙ තේරුනෙ ඒ උං දවසම ඉතා මහන්සියෙන් වැඩ කරල රිලැක්ස් වෙන විදිහ කියල​. 8-9 ට විතර තමයි ගෙදර යන්නෙ (හැබැයි ඇත්තටම 10-11 වෙනකං වැඩ කරන  එවුනුත් ඉන්නව​).

9. තමා වැඩ කරන සමාගමට ඉතාම ලෝයල්. මේක ඉස්සර කාලෙ සමුරායි ල තමාගෙ ස්වාමියට දිවිහිමියෙන් සේවය කරපු එකෙන් ආපු එකක්. අපි පොඩි එවුන් ගෙන් අහනව නෙ "බබා ලොකු වුනාම වෙන්න කැමති කවුද​?" කියල​. එතකොට උං කියනව නෙ "දොස්තර කෙනෙක්, ගුරුවරයෙක්" යනාදී වශයෙන්. ජපානෙ ඒ වගේ අහන්නෙ "බබා ලොකු වෙලා මොන සමාගමේද වැඩ කරන්න කැමැති?" කියල​. ඒකට "මිත්සුබිෂී, ටොෂීබා, ටොයොටා" වගේ උත්තර ලැබෙනවා. ඒ වගේම සේවකයෙක් සමාගම මාරු කිරීම ඉතාමත් කලාතුරකින් වෙන වැඩක්. එහෙම මාරු කරන එක තමාගෙ සමාගමට කැළලක් විදිහට සලකන්නෙ.

10. ඉතාම පොඩි වැඩේ ඉඳල ඉතාම ලොකු වැඩේ වෙනකං මොන වැඩේ කරත් පුළුවන් තරම් පර්ෆෙක්ට් ජොබ් එකක් කරන්න තමයි ට්‍රයි කරන්නෙ. ඒකත් අතීත ජපන් සම්ප්‍රදායන් ගෙන් ආපු එකක්. වැසිකිළි පිරිසිදු කරන එකාගෙ ඉඳල ඉහළම ඉංජිනේරුවා දක්වා එහෙමයි. ඒ වගේම අඩුපාඩු සහිතව වැඩක් ඉවර කරන එක ලොකු අගෞරවයක් විදිහට සලකන්නෙ. තමාගෙ ඩිසයින් එක ෆේල් වීම නිසා දිවි නසා ගත්ත ඉංජිනේරුවො ඉන්නව​.

11. පුළුවන් තරම් අඩු සේවක සංඛ්‍යාවකින් තමයි වැඩේ කරන්න ට්‍රයි කරන්නෙ. මම දැකල තියෙනව කම්කරුවො දෙන්නෙක් ලී වලින් ගෙයක් හදනව​. සම්පූර්න වැඩේ කරෙ දෙන්නයි.

12. පිරිසිදු කම​. වැඩක් කරද්දි ඒකෙ නීට්නස් ඉතාම ඉහලින් සලකනවා. ඒ වගේම වැඩේ කරපු තැන තැන් තැන් වල රොඩු බොඩු ඉතුරු කරන්නෙ නෑ. මොනව හරි මැකුවොත් මකන කෑල්ලෙන් එන කුඩු ටිකත් සාක්කුවෙ දාගෙන යනව​.

13. ඔෆිස් එක කියන්නෙ පවුලක් වගේ. ඔෆිස් එකේ නිතරම ඩිනර් පාටි තියෙනවා. සතියට එකක් වත්. ඒවට අනිවා සහභාගී වෙන්න ඕනෙ. නොවුනොත් ඒක ලොකු අඩුවක්. ටීම්වර්ක් දන්නෙ නැති එකෙක් විදිහට සැලකෙන්නෙ. සමහර වෙලාවට එකම දවසෙ එක මනුස්සයෙක්ට පාටි තුනකට විතර සහභාගී වෙන්න සිදු වෙන්න වෙනව​.

14. වෙලාවට වැඩ කිරීම​. මේක තමයි අංක එක​. මොන තරම් වැඩ්ඩෙක් වුනත් වෙලාවට වැඩ කරන්න බැරි නං ඌව සත පහකට ගණං ගන්නෙ නෑ. වෙලාවට වැඩ කරනව කිව්වම "හත කිව්වොත් හත​" නෙවෙයි. ජපානෙ හත කියන්නෙ හයයි හතළිස් පහට​. හතට මීටින් එකක් තියෙනව නං හයයි හතළිස් පහ වෙද්දි එතනට ඇවිල්ල ඉන්න ඕනෙ. විනාඩි පහළොවක් තියෙන්නෙ ආගිය කතා වලට සහ වැඩේට සූදානම් වෙන්න​. හරියට හතට වැඩේ පටන් ගන්නව​.

15. හොඳටම හෙම්බත් වෙනකං වැඩ කරන එක තමයි විශ්‍ෂ්ඨත්වයේ සලකුණ වෙන්නෙ. වැඩ ඇරිල ගෙදර යද්දි සමු දෙන්නෙ "ඔත්සුකරේදෙස්" කියල​. ඒකෙ තේරුම "ඔබට හොඳටම මහන්සි පාටයි". වැඩ ඇරෙන වෙලාවට තියෙන කෝච්චි වල හෙම්බත් වෙලා නිදාගෙන යන එවුන් ඉතා සුලබ දසුනක්.

උපුටා  ගැනීම අන්තර්ජාල ලිපියකින් 

ඡායරූප අන්තර්ජාලයෙන් 

No comments