Headlines

ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කළ චීන පොහොර නැව සිංගප්පුරුවට...ඩොලර් මිලියන 8ක වන්දිය ගෙවන්න වෙයිද?



චීන පොහොර නැවට මොකද වෙන්නේ? පොහොර තොගය භාර ගන්න වෙයිද? මෙය බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයකි. ඒ කෙසේවෙතත්, හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමින්, ශ්‍රී ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන චීන කාබනික පොහොර රැගත් මෙම නැව දින 70 ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ හැංගි-මුත්තන් කරමින් සිටියේය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර රැගත් මතභේදාත්මක හිපෝ ස්පිරිට් (HIPPO SPIRIT) නෞකාව මේවන විට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් ඇත.

නාවික ගමනා ගමන දත්ත ඇතුළත් වෙබ් අඩවිවලට අනුව හිපෝ ස්පිරිට් නෞකාව දෙසැම්බර් 10 වැනිදා වන විට සිංගප්පුරුවට ළඟා වනු ඇති බවට පෙන්නුම් කරයි. දින 70කට අධික කාලයක් ශ්‍රී ලංකා මුහුදේ සැරිසැරීමෙන් අනතුරුවයි නෞකාව පසුගිය 04 වැනිදා සිංගප්පුරුව බලා ගමන් ආරම්භ කළේය.

සිංගප්පුරුවේදී බේරුම්කරණයට...

කාබනික පොහොර තොගය මෙරටට එවූ චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම කියා සිටියේ බේරුම්කරණය හා නියැඳී ගැනීමේ කටයුතු සඳහා පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව සිංගප්පුරුවට රැගෙන යන බවයි.

තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම බේරුම්කරණ විනිශ්ය සභාව හරහා ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇත.

එම සමාගම විසින් අදාළ වන්දි මුදල ඉල්ලා ඇත්තේ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගමෙන්ය.

කාබනික පොහොර මිලදී ගැනීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව විසින් උල්ලංගණය කර ඇති බව චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. සමාගම ඉල්ලා සිටින වන්දියට පොහොර තොගයේ වටිනාකම, නැව්ගාස්තු, බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා වැයවන ගාස්තු හා පොලියක් ද ඇතුලත් වන බවට ඔවුන් පවසයි.

මේ අතර, කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාව තුළ කිරීමට ඇති හැකියාව පිළිබඳ අද (දෙසැම්බර් 06) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.

චීන කාබනික පොහොර රැගත් Hippo spirit නැව චීනයෙන් පිටත්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාණිජ්‍ය බලපත්‍රයක් ලබා නොගෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඔක්තෝම්බර් 27 පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ලංකා පොහොර සමාගම චීන සමාගමට මේ පිළිබඳව ඊමේල් මඟින් දැනුම් දී ඇති බව ඔහු තවදුරත් පැවසීය.

මෙම චීන පොහොර සමාගමට අසාධාරණයක් වී ඇතැයි චීන තානාපතිවරයා ලියුමකින් දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේ ය. තම රාජ්‍ය අමාත්‍යවරයා තානාපතිවරයා හමුවට ගියේ සිදුව ඇති දෙය පැහැදිලි කිරීමට බව ඔහු පැවසීය.

එහිදී රාජ්‍ය අමාතවරයා චීන තානාපතිවරයාට දැනුම්දී ඇත්තේ අදාළ පොහොර තොගය රැගත් නෞකාව නැවතත් මවු සමාගමට යවා අවශ්‍ය වෙනස්කම් කර අදාළ පිළිවිතරයන්ට හා නියමයන්ට අනුව සකස්කර මධ්‍යස්ථ, ස්වාධීන පරීක්ෂණ ආයතයක් ලවා පරික්ෂා කර එය සනාථ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පරීක්ෂණාගාර අනුමැතියද ඇතිව නැවතත් ලබාගත හැකි බවත් මෙරට නිර්ණායකවලට අදාළ නොවන පොහොරක් තමන් ලබා නොගන්නා බවයි.

Hippo spirit නැව කෝ...

මෙම අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර භාර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙට්‍රික් ටොන් 20,000 චීන කාබනික පොහොර රැගත් Hippo spirit නැමති නැව දින 70ක් මෙරට මුහුදේ සැරිසරමින් සිටි බවට එම දත්ත පෙන්නුම් කෙරිණ.

මීටර 154ක් දිග 1996 දී නිශ්පාදිත HIPPO SPIRIT [IMO 9135523] දරන මෙම නැව පැනමාවේ ලියාපදිංචි නෞකාවකි. ජාත්‍යන්තර නාවිත දත්තවලට අනුව පෙනී යන්නේ නෞකාව කිසිවිටකත් නැවතත් චීනය බලා ගමන් නොකළ බවත් වරින්ව චන්ද්‍රිකා සම්බන්ධතා විසන්ධි කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සැරි සරූ බවයි.

මෙම පසුබිම තුළ චීන කාබනික පොහොර රැගත් නෞකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු සඳහන් කරමින් පූර්ණ වාර්තාවක් කොළඹ චීන තානාපති කාර්යාලය වෙත කෘෂිකර්ම අමාත්‍යංශය භාර දුන් බවට එහි ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කෘෂි කර්ම අමාත්‍යංශය සඳහන් කර සිටියේ වගකිව යුතු සෙසු ආයතනවලටද අදාල වාර්තාව නොවැම්බර් මාසයේදී භාර දුන් බවට එහි ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා අවධාරණය කළේ, තොග අනුමැතියක් ලබා නොදුන් නැවක් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවත් එය භාර ගැනීමට ශාක ආරක්ෂණ පනතේ විධි විධාන නොමැති බවයි.

"සාම්පල් පරීක්ෂාවක් සිද්ධකරන්න තමයි අපි සාම්පල් ගෙන්න ගත්තේ ඒ සාම්පල් පරීක්ෂාවේදී අපට තහවුරු වුණා. ඒකේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා අහිතකර ඒ නිසා තමයි අපි ඒ සඳහා බල්ක් ෆර්මිට් එකක් තොග ගෙන ඒම සඳහා අපි අනුමැතියක් ලබා නොදුන්නෙ."

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ගනුදෙනු මේ වනවිට අර්බුදයකට පත්ව ඇත්තේ ශාක ශ්‍රී ලංකාවේ නිරෝධායන සේවය ඒවායේ අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු කිරීම හේතුවෙනි.

කින්ඩාඕ චීන සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්...

සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට, සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් ඔක්තෝබර් 26 වැනිදා වාරණ නියෝගයක් ගනු ලැබිණ.

කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු නොවන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරිනි.

ලංකාවේ චීන තානාපති කාර්යයාලය කින්ඩාඕ සමාගමෙන් නිකුත්කළ ලිපිය පළකර ඇත

චීන සමාගම සහ එහි දේශීය නියෝජිතයා ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය අංක 02හි විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කළේ ය.

කොළඹ වාණිජ මහාධිකරණය කළ නියෝගයකට අනුව චීන පොහොර සඳහා අදාළ ණයවර ලිපිවලට ගෙවීම් කිරීම මේ වනවිට අත්හිටුවා ඇත. කොළඹ වාණිජ මහාධිකරණය විසින් දෙසැම්බර් 03 වැනිදා මහජන බැංකුවට පැනවූ වාරණ නියෝගය දෙසැම්බර් 23 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට නියෝග කළේය.

චීන තානාපති කාර්යාලය පසුයදා ප්‍රකාශකලේ ගෙවීම් පහර හැර ඇති බවින් ශ්‍රී ලංකාවේ මහජන බැංකුව ඔවුන් විසින් අසාධු ලේඛනගත කර ඇති බවයි.

එහෙත්, මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීමට බලපෑම් කිරීමේ හැකියාවක් කින්ඩාඕ සමාගමට නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

"මෙතන වෙලා තියෙන්නේ, තේරුම්ගන්න, එයාලා ප්‍රධාන සමාගමක්. ඒගොල්ලන්ට විශ්වසනීයත්වය ගැන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් විශ්වසනීයත්වය රැකගන්න ඕනේ වචන ඒගොල්ලෝ පාවිච්චි කරයි. ඒ නිසා මට දෙන්න පුළුවන් සහතිකේ, අපි මේ නැව ගන්නේ නෑ! මේ පොහොර නැව ගන්නේ නෑ, එච්චරයි!" ඔහු පැවසුවේ ය.

ඔක්තෝම්බර් මාසයේදී, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ, මෙරටට ගොඩ බෑම වළක්වා ඇති හානිකර බැක්ටීරියා අඩංගු බව කියන චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර යළි පරික්ෂා කිරීමට එකඟ වූ බව ය.

ඒ අනුව පොහොර පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට බාර දී, ඉන්පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකදී ඔක්තෝම්බර් 26 වනදා පැවසීය.

චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී.

එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට ඇතුළු විය.

චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගමට මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබිණ.

චීන සමාගමෙන් මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර සාම්පලයන්හි අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ස්ථාවරය වී තිබුණේ නැවට මෙරට වරායකට ඇතුළුවීමට හෝ පොහොර රට තුළට ගෙනඒමට ඉඩ නොදිය යුතු බවය.

ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද, නැව්ගත කළ තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවුක උපදෙස් වලදී සමාගම පිළිගෙන ඇති බව ද අධිකරණයේ දී දන්වා සිටින ලදී.

ජාතික ශාක නිරෝධායන සේවය තමා වෙත ලැබුණු නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසකි.

පොහොර තොගය ආනයනය කෙරෙන්නේ කොටස් වශයෙන් වන අතර මේ වන විට එහි නැව් ගතකර ඇති පළවෙනි පොහොර තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9.1ක් වන අතර, එම තොගය චීනයෙන් නැව්ගත කළ විට එහි වටිනාකමෙන් 75%ක් ගෙවීමට ණයවර ලිපියේ කොදේසි වල සඳහන බැවින් මේ වන විටත් ශ්‍රී ලංකා රජය එම කොටස සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.83ක් ගෙවා තිබේ. ඉතිරි 25% පොහොර තොගය ගොඩබෑ විට ගෙවීමට නියමිත ය.

චීන සමාගම ප්‍රකාශයක් නිකුත් කරයි

මේ අතරේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම ඔක්තොම්බර මාසයේදී නිවේදනය කරන්නේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස් සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය.

ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන ලදී.

සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත්, සැපයුම්කරු පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රැගෙන යන බව චීන සමාගම පවසයි. අර්වීනියා නැතැයි තහවුරු වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද කින්ඩාඕ සමාගම අවධාරණය කරයි.

මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත්, ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බව ද එම සමාගම ප්‍රකාශ කර ඇත.

චීන පොහොර සමාගම තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ටෙන්ඩර ලියකියවිලිවල යම් යම් තාක්ෂණික දෝෂ ඇති අතර තමන් පැනනැගී ඇති ප්‍රශ්නය විසදාගැනීම සඳහා සාකච්චා කිරීමට කැමති බවය.

නඩුගාස්තුත් ගෙවලා, බේරුම්කරණ ගාස්තුත් ගෙවලා, පොහොරත් නැහැ....

බේරුම්කරණ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ, "ඒගොල්ලො දැන් සිංගප්පූරුවට යනව බේරුම්කරණය සඳහා බේරුම්කරණ ගාස්තු ගෙවන්න වෙනවා, නඩු දානවා නඩු ගාස්තු ගෙවන්න වෙනවා, අවසානය කුණු පොර ටිකත් අපිට භාරගෙන ඒ පොහොර ටිකට කරන්න දෙයක් නැතුව, චීනේ නැව් ගාස්තුවත් ගෙවල, ඒ වගේම ගුදම් ගාස්තුවත් ගෙවල, ප්‍රමාද ගාස්තුවත් ගෙවලා, නඩු ගාස්තුත් ගෙවලා, බේරුම්කරණ ගාස්තුත් ගෙවලා අවසානයේ ගොවියන්ට පොහොර නැති රටට මහා හෙනපතයක් පාත්වෙන තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය."

නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමත් අර්බුදයකද?

ඉන්දියාවේ නිශ්පාදිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර මෙරටට ගෙන්වන නියෝජිතයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ නියෝජිතයා ගිවිසුම් පරිදි ක්‍රියා නොකිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති අතර එම තත්ත්වය තුළ දියර පොහොර මෙරටට ගෙන්වීම ප්‍රමාදවෙමින් ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

මේ අතර ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර යළි මෙරටට රැගෙන එනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (දෙසැම්බර් 6) දිනයේ තීරණය කරන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

ගොවීන්ට දුෂ්කරතා...

චීන හා ඉන්දියානු කාබනික පොහොර සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පවතින අතරතුර පොහොර හිඟය නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ගොවියෝ පවසති.

පහතරට තේ වගාකරුවන්ද පොහොර ඉල්ලා ඊයේ (දෙසැම්බර් 05) මොරවක නගරයේ විරෝධතාවක නිරත විය. තේ වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඔවුහූ රජයට බලකර සිටියහ.

විපක්ෂයේ ස්ථාවරය

නමුත් ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය.

''ඒ කුණු කන්ද වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා. මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා කියන විදිහටම, ඩොලර් මිලියන 9 ක් කියන්නේ රුපියල් කෝටි 210 ක්. රුපියල් කෝටි 210 ක්. මහජන බැංකුවේ සල්ලි මේ පොහොර ගෙනාවත් නැතත් අපට ගෙවන්න වෙනවා."

"මහජන බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? මේ රටේ අහිංසක ඇඹිලිපිටියේ අම්පාරේ ගොවියා කෙහෙල්කැනක් විකුණලා, අඹ ගෙඩියක් විකුණලා, වී මුට්ටයක් විකුණලා හම්බකරන සල්ලි. අපට මේ ඩොලර් මිලියන 9 ගෙවන්න වෙන්නේ, UCP 600 ය කියන ජාත්‍යන්තර නීතියට අනුව, අපේ මහජන බැංකුව බැඳිලා ඉන්නවා. මේ කෝටි 210 ගෙවන්න. ජාත්‍යන්තර සම්මුතියක්. දැන් අපට ඩොලර් මිලියන 9 ගෙවන්න වෙනවා. "

ඉන්දියාවෙන් නැනෝ දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදීත් අක්‍රමිකතා සිදුවී ඇතැයි විජිත හේරත් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසිය.

ඔහු කියා සිටියේ පෞද්ගලික සමාගමක් ආරම්භකර එහි ගිණුමකට මෙම පොහොර ගෙන්වීමට අදාළ මුදල් බැර කර ඇති බවයි.

"තකහනියේ ගිණුම් ආරම්භ කරලා පෞද්ගලික ගිණුම් මහජන බැංකුවේ ටවුන්හෝල් ශාඛාවේ විවෘත කරලා, ඒකට රුපියල් කෝටි 29 ක් එකපාර හදිස්සියේ දැම්මා. අද වෙනකොට පහුගිය සිකුරාදා වෙනකොට ඒ ගිණුම වහලා. දැන් ඒ ගිණුමේ සල්ලි ටික මහජන බැංකුවේ පොදු ගිණුමට දාලා. දැන් පොදු ගිණුම හරහා තමයි ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන්වලට සල්ලි ගෙවන්නේ, එතකොට පුද්ගලික ගිණුමක් විවෘත කළේ කොහොමද? රජයේ සල්ලි කොහොමද පුද්ගලික ගිණුමකට ට්‍රාන්සර් කරන්නේ? මේවා අයථා ක්‍රමවේද."

"ඩොලර් පන්කෝටි 29 ලක්ෂ 12500 ක්. ඒ කියන්නේ රුපියල්වලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1200 ක්. රුපියල් කෝටි 1200 ක වියදමක් දරණවා. අපි නැනෝ නයිට්‍රජන් ඉන්දියාවෙන් ගේන්න."

ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායනය සේවය සියලු ආකාරයේ විද්‍යානුකූල පරීක්ෂණ මඟින් අර්වීනියා වර්ගයේ හානිකර බැක්ටීරියා සහ බැසිලස් විශේෂ මෙම පොහොර සාම්පලවල ඇති බව හඳුනාගෙන ඇති බවත් මෙම පරීක්ෂණ වාර්තා කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි බව ඔහු අවධාරණය කළේ ය.

පොහොර අර්බුදය හා මහාචාර්ය බුද්ධි මාරඹේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කළ බව එම අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේය.

නිවේදනයට අනුව, මහාචාර්ය බුද්ධි මාරඹේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන්, සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගිත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය: "ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

"මහාචාර්ය මාරඹේ රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

"මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත. මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත."

කෙසේ වෙතත් මහාචාර්ය බුද්ධි මාරඹේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තමාව ලිඛිතව දැනුවත් කර නොමැති බවය.

"මම කෘෂිකර්ම අමාත්‍යංශය හා සම්බන්ධ කිසිදු ආයතනයක රැකියාවක නිරත වන නිලධාරියෙක් නෙවෙයි. ගිය වසරේ දෙසැම්බර් මාසය වනකොට වර්තමාන කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ආරාධනයෙන් මට ආරාධනයක් ලැබුණා ඇත්තටම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් නිර්මාණයක් කරලා තියෙන වෙලාවේ, ඒ කමිටුවේ සාමාජිකයෙක් හැටියට සේවය කරන්න කියලා."

"ඉතින් අපිට භාර දීලා තියෙන රාජකාරිය වන්නේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවශ්‍යය කරන කෙටුම්පත සම්පාදනය කරලා ගරු අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීම. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා කිසිදු ලිඛිත ලියවිල්ලක් ලැබිලා නෑ ඒ සම්බන්ධව මාව කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා. ඇත්තටම මේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන කමිටුව ගිය මාසයෙන් ඉවරයි. එතකොට මේ මාසේ මාව ඉවත් කරනවාද නැද්ද කියන එකත් ප්‍රශ්නාර්ථයක් වෙන්න විදියක් නෑ."

ගොවීන්ට වන්දි දෙන්නේ කොහොමද?

මේවන විට දිවයින පුරාම පාහේ මහ කන්නේ වී වගාව ආරම්භ වී ඇත. පොහොර ඉල්ලා රටපුරා පැවැත්වෙන ගොවි විරෝධතාවලද මෙතෙක් අවසනායක් නැත. මෙම තත්ත්වය මත කාබනික පොහොර භාවිතයෙන් නිසි අස්වැන්නක් නොලැබුණහොත් ගොවීන්ට වන්දි ලබා දෙන්නේ කෙසේදැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

"ආණ්ඩුව කියනවා ලබා දෙන කාබනික පොහොර වලින් නිසි අස්වැන්නක් නොලැබුණ හොත්, ගොවීන්ට වන්දි දෙනවා කියලා.රුපියල් 2,000 දීගන්න බැරි ආණ්ඩුව කොහොමද, ගොවියන්ට වන්දි දෙන්නේ? අපි අහනවා මොකද්ද ක්‍රමවේදය කියලා. ගොවීන්ට ඒක පැහැදිලිව කියන්න ඕනේ," යනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කංග්ස් නෙල්සන් පැවසීය.


No comments