Headlines

Today Special- දුන් තෙල් බත්


බත් වර්ග අතර ගොඩක් රසවත් වගේම හොඳ සුවඳක් තියෙන බත් වර්ගයක් තමයි දුන් තෙල් බත් කියන්නේ.. ගොඩක් අය දන්නෙ නැහැ දුන්තෙල් බත් කියන්නේ මොනවටද කියලා. දුන්තෙල් කියන්නෙ buffalo gee වලට. ගොඩක් අය හිතන්නේ cow gee වලට තමයි දුන්තෙල් කියන්නෙ කියලා. ගිතෙල් කහ පාටයි. දුන්තෙල් සුදු පාටට හුරුයි. ඒවගේම දුන්තෙල් ටිකක් දියාරුයි. මීකිරි නිෂ්පාදනය කරන පලාත් වලින් මිළදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුන්තෙල් කිලෝ ග්‍රෑම් එකක මිළ රුපියල් තුන් දහසක් පමණ වෙනවා. ඉන්දියන් කෑම අලෙවි කරන කඩවල රුපියල් සියයට පොඩි පැකට් ගන්න තියෙනවා. සාමාන්‍ය වෙළදපොලේ දුන්තෙල් කියලා අලෙවි කරන්නේ ඕස්ට්‍රේලියන් බටර් ඔයිල්. ඒවා නම් මිලෙන් අඩුයි.කිලෝ ග්‍රෑම් එකක් රුපියල් හයසිය පනහක් වගේ තමයි වෙන්නෙ. දුන්තෙල් හොයා ගන්න බැරිම අය ඒවගෙන් ට්‍රයි කරලා බලන්න. බටර් ඔයිල් ගන්නවා නම් දුන්තෙල් යොදන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් ගන්න,, මොකද ඒවයින් සැර සුවඳක් එනවා.

අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා හෝ සූදුරු සම්බා හාල් 500g
දුන්තෙල් මේස හැඳි 03
ගම්මිරිස් ඇට තේ හැඳි 01 1/2
කහ කුඩු තේ හැඳි 1/4ට අඩුවෙන්
ලොකු කුරුඳු කැබැල්ලක්
සිහින්ව ලියා ගත් ලොකු ළුෑණු ගෙඩියක්
ලොකු කරඳමුංගු ඇට 04ක්
කරාබු නැටි තේ හැඳි 01
කරපිංචා, සේර, රම්පෙ, ලෙමන් ග්රාස් ලොකු කැබැලි වලින් ගන්න. (පස්සෙ අයින් කරන්න ලේසි වෙන්න)

සාදන ක්‍රමය

මුලින් ම හාල් ටික ⁣සෝදලා වතුර බේරෙන්න තියන්න. ඒ අතර වතුර කේතලය පැහෙන්න තියන්න. මේ බත් වර්ගය හදන විට නටන වතුර තමයි දාන්න ඕනි. නැත්නම් බත් ඇට අමු වෙනවා.

දැන් බත පිසින බාජනය ලිපේ තියලා දුන්තෙල් මේස හැඳි තුන දාන්න. ඒ ටික දිය වේගෙන එද්දි කපා ගත් ළුෑණු, කරදමුංගු, කරාබු නැටි, ගම්මිරිස් ඇට, සේර රම්පෙ කරපිංචා ටික දාලා බැදෙන විට සෝදලා වතුර බේර ගත් හාල් ටික දාලා බැදෙන්න දෙන්න. විනාඩි තුන හතරක් පමන බැදෙන විට කහ කුඩු සහ ලුණු කුඩු ටිකක් එකතු කරන්න. දැන් නටන වතුර කෝප්ප තුන හමාරක් පමණ දමා හොඳින් පියන වසා විනාඩියක් පමණ වැඩි ගින්දරේ තබා ඉන්පසුව ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් තබා බත පිස ගන්න. විනාඩි දොලහකට පමණ පසුව පියන හැර කූරු ගා නැවත පියන වසා අඩුම ගින්දරේ විනාඩි හතරක් පමණ පිස ගන්න. නැවතත් පියන හැර කූරු ගා කලින් දැමූ රම්පෙ සේර ආදිය අයින් කර ලොකු රම්පෙ කැබලි තුනක් පමන ගසා පියන වසා ලිප නිවන්න. විනාඩි පහක් පමණ එලෙස තබා බත් එක අරින්න. කොහොමද සුවඳ.. මේ වෙලාවෙ දුන් තෙල් බත් එක හරිම සුවඳයි. දැන් තමන් කැමති විදියට සරසා මේසෙට යවන්න. මේකට නම් සීනි සම්බෝලයක් විතරක් තිබුනත් ඇති. හදලා මටත් රස කියන්න අමතක කරන්න එපා.
උපුටාගැනීම - අන්තර්ජාල ලිපියකින් 
මුල් නිර්මාණකරුට ප්‍රණාමය 
credit: Image Unsplash 

No comments