Headlines

ප්‍රංශ විප්ලවය හා නැපෝලියන් බොනපාට්


හැඳින්වීම

 යුරෝපයේ සුවිශේෂ ඓතිහාසික ක්‍රියාදාමයක් වන ප්‍රංශ විප්ලවය මුළු මහත් ලෝක දේශපාලන ක්‍රියාවලියටම බලපෑ සිද්ධිදාමයකි. ප්‍රංශ විප්ලවය ආසන්නයේ ප්‍රංශයේ පැවති දේශපාලන, සමාජ, ආර්ථික සහ ආගමික ව්‍යුහය ප්‍රාග්ථන පටිපාටිය නම් වන අතර එය ප්‍රංශ විප්ලවය ඇති වීමට බලපෑ ප්‍රධානම හේතුව විය. ටොක්වෙල් නැමති ප්‍රංශ ඉතිහාසඥයා පවසන පරිදි එය හදිසි සිදුවීමක් නොව පරම්පරා ගණනාවකින් පෝෂණය වූ එක්තරා වැඩ පිළිවෙළක අවසාන ප්‍රතිඵලයයි. කාලාන්තරයක් මුළුල්ලේ පෝෂණය වෙමින් විකාශනය වූ විප්ලවය ආරම්භ වූයේ 1789 ජූලි මස 14 වන දින ප්‍රංශ බන්ධනාගාරය වූ බැස්ටීලයට පහරදීමෙනි.

 එමෙන්ම ඇමරිකානු විප්ලවයෙන් ප්‍රංශ විප්ලවයට ඇති කරන ලද බලපෑම ඉමහත්ය. ප්‍රංශ විප්ලවය මධ්‍යම පන්තිකයන්ගේ විප්ලවයක්, රඳළ පාන්තිකයන්ගේ විප්ලවයක් හෝ ගොවි ජනතාවගේ විප්ලවයක් ලෙසින් ද විවිධ මත පළ කරයි. සමාජවාදී ඉතිහාසඥයන් ප්‍රංශ විප්ලවය මධ්‍යම පාන්තිකයන්ගේ විප්ලවක් ලෙසත් එය පැරණි සමාජ සංස්ථාවලට එරෙහිව ඇති කළ විප්ලවයක් ලෙසත් හඳුන්වයි. එඞ්මන් බර්ක් ප්‍රකාශ කරනු ලබන්නේ ප්‍රංශ විප්ලවය මුළු ලෝකයේම ඇති වූ ශ්‍රේෂ්ඨතම සිදුවීම බවයි. 1789 ඇරඹි ප්‍රංශ විප්ලවය නැපෝලියන් බොනපාට් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය මුසු ඒකාධිපති පාලනයක් ඇතිවීම දක්වාම පැවතුණි. “විප්ලවයේ දරුවා” හෙවත් නැපෝලියන් යනු ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයකි. යුධ කාමියෙක්, යුධ නායකයෙක් සහ සමාජ ශෝධකයෙක් වන නැපෝලියන් ප්‍රංශ විප්ලවයේ ගමන් මඟ තීරණාත්මක වෙනසකට බඳුන් කළ ගාමුක බලවේගය විය. “විප්ලවය මම තමා” යනුවෙන් වරක් ප්‍රකාශ කළ නැපෝලියන් විප්ලවය ප්‍රංශයෙන් පිටත යුරෝපයට ගෙන ගිය අතර ඔහු විප්ලවයට දැඩි ලෙස පක්ෂපාතී විය. නැපෝලියන් බිහි කරන ලද්දේ ප්‍රංශ විප්ලවයයි. ඒ අනුව ප්‍රංශ විප්ලවය සහ නැපෝලියන් බොනපාට්ගේ බිහි වීම අතර ඇත්තේ දැඩි සබඳතාවයකි. නැපෝලියන් නොමැතිව ප්‍රංශ විප්ලවයට පැවැත්මක් නොතිබිණ. 

 18වන සියවසයේ අවසාන වසර කිහිපය තුළ සමස්ත යුරෝපයම දෙදරවා ගිය මානව ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් ලෙස ප්‍රංශ විප්ලවය හැඳින්විය හැකිය. “1789දී සිදු වූ විප්ලවය මඟින් එකල පැවති සියලුම දේශපාලන ආයතන අතුගා දැමූ අතර වඩාත් සමානාත්මතා ලක්ෂණ වලින් යුත් සමාජයක් හා වගකීම් සහිත ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීම අරමුණු කර ගැනුණි.”(රාවෝ,1999:287). මෙම ඓතිහාසික ක්‍රියාදාමය එක් හේතුවක් නිසා එක් රැයකින් සිදු වී අවසාන වූ සිදුවීමක් නොවේ. විවිධ හේතු නිසා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇඳී ගිය ඓතිහාසික බලවේගයකි. විප්ලවය ඇති වීමට බලපෑ දේශපාලන හේතු අතර 14වන ලුවී රජුගේ කාලයේ ප්‍රංශය විදේශීය යුද්ධ ගණනාවකට මැදිහත් වීම, අසහාය රාජාණ්ඩු බලය, ලුවී රජු එවකට ප්‍රංශයේ පැවති තත්ත්වය පිළිබඳ නොසලකා හැරීම, විදේශීය යුද්ධ සහ යුධ වියදම් නිසා ප්‍රංශ භාණ්ඩාගාරය හිස් වීම සහ රජයේ පැවති දූෂණ ක්‍රියා හේතු කොට ගෙන මහජනයා තුළ ප්‍රංශ රජය කෙරෙහි විශාල අප්‍රසාදයක් ගොඩනැගී තිබුණි. 

 විප්ලවය පණ ගැන්වීමට බලපෑ සමාජීය සාධක අතර ප්‍රංශ සමාජයේ පූජක සහ රඳළ පන්තියට හිමි වූ වරප්‍රසාද සහ තුන්වන ප්‍රජා ගණයට මුහුණ දීමට සිදු වූ දැඩි දුෂ්කරතාවයන් පෙන්වාදිය හැකිය. පළමුවන ප්‍රජා ගණයට අයත් පූජක පන්තිය සතුව පැවති ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාව, බදුවලින් නිදහස්වීම වැනි වරප්‍රසාද හිමිව පැවතිය ද පහළ තලයේ සිටි පූජකවරුන්ට මෙවැනි වරප්‍රසාද හිමි නොවීම ද දැකිය හැකිය. රඳළ පවුල් ගත් විට බදු නොගෙවා සිටීම, ඉහළ තනතුරු දැරීම, සුඛෝපභෝගී ජීවිත ගත කළ අතර ගොවි ජනතාව තුළ ඔවුන් කෙරෙහි ද අප්‍රසාදයක් ගොඩනැගී තිබුණි. මධ්‍යම පන්තිය, ගොවීන්, ශිල්පීන් සහ කම්කරුවන් අයත් වූ තුන්වන ප්‍රජා ගණය ප්‍රංශ ජනගහනයේ විශාලතම කොටස වූ අතර ආණ්ඩුව අය කරනු ලබන අසාධාරණ බදුවලින් පීඩා විඳි අතර මෙම ඒකාධිපති රාජාණ්ඩුව කෙරෙහි ඔවුන් තුළ ගිනි දැල් ඇවිලෙමින් තිබිණි. නීතියේ සමානාත්මතාවයක් මෙකල නොපැවතිණි. එමෙන්ම සෙන්ස්, චැමිපාමි, ඇඟ බද්ද සහ ගැබෙල් වැනි අසාධාරණ බදු අය කළ අතර රැකියා වියුක්තිය ප්‍රංශයේ ආර්ථික දුර්වලතාවය සහ ක්‍රමානුකූල නොවූ මුදල් ප්‍රතිපත්තිය ආදී ආර්ථික හේතු රාශියක් ප්‍රංශ විප්ලවය ඇති වීමට බලපෑ බව පෙනේ. “ප්‍රංශ ආර්ථික ක්‍රමය කොතෙක් දුරට දුර්වල වීද යත් ප්‍රංශ විප්ලවය ආසන්නයේදී ප්‍රංශ භාණ්ඩාගාරයේ ෆ්‍රෑන්ක් දස ලක්ෂ හාරසියයක් පමණ විය.”(සමරාබද්ද, 1992:76). මෙම පිරිහී ගිය ආර්ථික තත්ත්වයට පිළියම් යෙදීමට ටූගෝ මුදල් ඇමතිවරයා රඳළයන්ගෙන් ද බදු අය කිරීමට තීරණය කළ අතර රඳළයන් ඊට එකඟ නොවූ අතර තව තවත් බදු බර ගොවි ජනතාව වෙත පැටවිණි.  

 මේ අයුරින් විප්ලවයට තුඩුදුන් කරුණු එක් වීමෙන් 1789 සිදු වූ ප්‍රංශ විප්ලවය විවිධ අවස්ථා ඔස්සේ ඉදිරියට ගමන් කළ ආකාරය දැකිය හැකිය. රඳළයන්ගේ විශේෂ වරප්‍රසාද සිඳ දමා සෑම දෙනාටම පොදු බදු ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළ කැලෝන්ගේ යෝජනාවට අකමැති වූ රඳළයන්ට කෙසේ හෝ අවශ්‍ය වූයේ නැති වී ගිය බලතල ආපසු ලබා ගැනීමට නිසා රාජාණ්ඩුවට එරෙහිව පළමුවන පියවර ගනු ලැබුවේ රඳළයන්ය. විප්ලවයට සුදුසු මානසික වාතාවරණයක් ඇති කළ ඔවුහු එම විප්ලවයෙන්ම විනාශ වූහ. රඳළයන් ඇරඹූ කැරැල්ල ක්‍රමයෙන් මුළු සමාජය පුරාම ව්‍යාප්ත විය. බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කොට ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීමට ස්ටේට්ස් ජනරාල් සංගමය කැඳ වූ අතර ඉන් තවත් ගැටලු රාශියක් උද්ගත වූ බව පෙනේ. රඳළයන් සහ පූජකයන් එහි ද බලය අත් කර ගැනීමට කටයුතු කළ බව පෙනේ. තුන්වන පන්තියේ නියෝජිතයන් ස්වකීය ඉල්ලීම් මුදුන් පත් කර ගැනීමට දේශප්‍රේමි පක්ෂය ලෙස සංවිධානය විය. රජතුමා, දේවිය, පූජක පන්තිය ප්‍රතිසංස්කරණ විරෝධී පක්ෂය ලෙසද, මැද පන්තිය ප්‍රතිසංස්කරණවාදීන් ලෙසද සංවිධානය විය. නමුත් මෙයට ජනතාවගේ සහභාගිත්වයක් නොවිණි. මධ්‍යම පන්තියේ ක්‍රියාකාරිත්වය විමසා බැලීමේදී මෙහිදී පෙනී යන්නේ ඔවුන් රාජාණ්ඩුවට විරුද්ධව කටයුතු නොකළ බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක් බවය. මෙහිදී රජතුමාගේ අදහස වූයේ නැති වී ගිය බලතල නැවත ලබා ගැනීමයි. රජ කුමරියගේ ක්‍රියා කලාපය ද මහජන අප්‍රසාදයට පත්විය. මෙම හේතු සාධක විප්ලවය භයානක මඟකට හරවන ලදි. 

 ප්‍රංශ විප්ලවයේ ගමන් මඟ අවස්ථා 5කට බෙදිය හැකිය. ඉන් පළමුවැන්න වූයේ 1789 බැස්ටීලයට පහර දීමේ සිට 1791 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන තෙක් කාලයයි. “පරණ රඳළ ක්‍රමයේ අවසානයත් විශේෂයෙන්ම අත්තනෝමතික ලෙස මිනිසුන් සිරගෙට යැවුවා වූ ද, පුද්ගලික නිදහස නොතිබුණා වූ ද, යුගයේ අවසානයත් හඳුන්වන සංකේතයක් වශයෙන් බැස්ටීලය අල්ලා ගැනීම වැදගත් වේ.”(ග්‍රාන්ට් සහ ෆින්ක්, 1964:283). පැරිස් ජනතාව ආණ්ඩු බලය ස්වග්‍රහණයට ගත්තේය. ජාතික මන්ත්‍රණ මණ්ඩලය රඳළ ක්‍රමයේ නටඹුන් අහෝසි කොට 1789.08.27 වන දින මෙමඟින් නිදහස සහ සමානාත්මතාවය පිළිබඳ පනතක් හඳුන්වා දුන්නේය. මෙම මණ්ඩලය මඟින් 1791දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් සීමිත රාජාණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කරන ලදි. 

 1791-1793 කාලය විප්ලවයේ දෙවන අවස්ථාව වූ අතර මෙහිදී නව ආණ්ඩුක්‍රමයක් අත්හදා බැලීමට උත්සාහ කරන ලදී. මෙහිදී රජුගේ බලය සීමා කොට ජනතාවට නිදහස ලබාදීමට තීරණය කරන ලදී. මෙහිදි ඉඩම් හිමියන්ට සීමිත ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන් අතර කම්කරුවන්ට ඡන්ද බලය හිමි නොවිණි. මෙම අවස්ථාවෙන් පසුව ප්‍රංශ විප්ලවය අවසාන වෙතැයි යුරෝපියයන් බලාපොරොත්තු වුව ද එය එසේ සිදු නොවුණේ රජු සහ කුමරිය සීමිත බලතල සහිතව නමින් රජ කිරීමට අකමැති වීම ප්‍රංශ ජනතාවට සීමිත ඡන්ද ක්‍රමයක් මඟින් තම අපේක්ෂා ඉටු නොවීම කම්කරු ජනතාවගේ අසතුට වැනි කරුණු නිසාය. ප්‍රංශ විප්ලවය ක්‍රමයෙන් යුරෝපීය විප්ලවයක ස්වරූපය ගත්තේය.

 1793-1794 ප්‍රංශ විප්ලවයේ තුන්වන අවස්ථාව වූ අතර අන්තවාදී ජැකොබින්වරු අතට බලය පත්විය. මෙහිදි අභ්‍යන්තර සහ බාහිර සතුරන් සමඟ සටන් ඇති වූ අතර විප්ලවයේ නායකත්වය මධ්‍යම සහ රැකි රක්ෂා සහිත පන්ති අතට පත් වූ බැවින් භීම සමය එළඹිණ. මෙකල උග්‍ර ජාතික හැඟීමක් මතු වූ අතර දේශපාලන අන්තවාදීහූ විදේශීය යුද්ධ හමුදාවෝ ප්‍රංශ ජනතාව අතින් මැරුම් කෑහ. එමනිසාම ප්‍රංශය යුරෝපීය ආක්‍රමණ වලින් ගැලවිණ. 

 විවිධ හේතු සාධක මුල් කරගෙන ඇති වූ මෙම විප්ලවය විවිධ සමාජ කණ්ඩායම් අතට පත්වෙමින් බොහෝ දුර පැමිණියේ එම එක සමාජ කණ්ඩායමකටවත් සියලු දෙනාටම පොදු සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමට නොහැකි වූ නිසාවෙනි. ප්‍රංශ විප්ලවය මෙතරම් දුර පැමිණියේ ඇයි? යන්න විග්‍රහ කළ යුතුය. 1789 ස්ටේට්ස් ජනරාල් සංගමය රැස් වීමේදී එහි සාමාජිකත්වය පිළිබඳ ප්‍රශ්න ඇතිවිය. පහළ පන්තිවල සාමාජිකයෝ ජාතික සංගමය නමින් සංවිධානය වී ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නට වූහ. රටේ ජනතාවගේ දුක්ගැනවිලි පිළිබඳ නොවිමසා සංගමයේ සාමාජික්තවය පිළිබඳ ප්‍රශ්න කරන්නට විය.

මේ අතර සාමාන්‍යය ජනතාව බැස්ටීලයට පහර දී රජ පවුල සිරකරුවන් ලෙස පැරිස් නගරයට ගෙන ගියහ. “එතැන් සිට විප්ලවය භයානක ස්වරූපයක් ගන්නට විය. මේ අවධියේ ප්‍රංශ දේශපාලනයේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගත්තේ මිරාබෝ පමණි. ඔහුගේ අකල් මරණයෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකින් ප්‍රංශයේ ගැටලු මඟ හැර ගැනීමට තිබූ අවස්ථාව නැති වී ගියේය.”(සෙනෙවිරත්න,1962:36). මිරාබෝ ජීවතුන් අතර සිටියා නම් මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණි. 1791 ව්‍යවස්ථාව තුළ ප්‍රංශ විප්ලවය හැඩ ගැසීමට තවත් බලවේග නිර්මාණය විය. එය රාජ්‍යයේ බලතල අල්ලාගෙන ඔවුන්ට සුදුසු පරිදි ආණ්ඩු ක්‍රමයක් පිළියෙළ කිරීමට මධ්‍යම පන්තිය දැරූ ප්‍රයත්නයකි. ඡන්ද බලය උසස් ධනපතීන්ට සීමා විය. ඉන් සාමාන්‍ය ජනතාවගේ අයිතිය, සමානාත්මතාවය හා ගැටලු නොවිසඳුණු අතර මධ්‍යම පන්තිය ඊට උත්සාහ නොදැරීය. එමනිසා ප්‍රංශ විප්ලවය නොනැවතී ඉදිරියට ගලා ගියේය.

 මෙය දක්ෂිණාංශික ප්‍රතිවිප්ලවයකි. 1791න් පසු ප්‍රංශ විප්ලවය දක්ෂිණාංශික සහ වාමාංශික යන අන්තවාදී කොටස් දෙකට මැදිවිය. ප්‍රංශ පාලනය පැරිස් ජනතාවට හිමි විය. පසුව ගිරොන්ඩියන් සහ ජැකොබින් යන පක්ෂ දෙක යටතේ විප්ලවය ඉදිරියට යයි. මෙවකට ප්‍රංශයට අත්‍යවශ්‍යම වූ බලසම්පන්න ආණ්ඩුවක් පිහිටු වීමට මෙම දෙපක්ෂය අතර අර්බුද ඇතිවිය. මේ අනුව සාමාන්‍ය ජනතාවගේ ගැටලුවලට විසඳුම් නොලැබුණි. ගිරොන්ඩියන්වරුන් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කිසිවක් නොකළ බව පෙනේ. ඔවුන්ගේ විප්ලවවාදී එඩිතර ප්‍රකාශ නිසා අනෙකුත් යුරෝපීය රටවල් විප්ලවයේ සතුරන් බවට පත්විය. “ගිරොන්ඩියන්වරුන්ගේ කතා බහෙන් හැඟී ගියේ තත්ත්වය එසේ නොවන බවයි. ප්‍රංශ විප්ලවය අතිශයින් උග්‍ර “ආයුධ සන්නද්ධ” දේශපාලන ධර්මයක් බවත් එය යුරෝපයේ සාමයට තර්ජනයක් බවත් ඉංග්‍රීසිකාරයෝ සිතන්නට වන්හ.” (සෙනෙවිරත්න,1962:40). මේ අනුව ගිරොන්ඩියන්වරුන්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන ප්‍රංශ විප්ලවය නොසිතු මාර්ගයකට යොමු විය. එය නිදහස, සමානාත්මතාවය හා ප්‍රංශ ජනයාගේ බලාපොරොත්තු සුන් කර වූ අවස්ථාවකි. 

 සෘජු ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කළ ජැකොබින්වරුන් යටතේ ආණ්ඩුවේ බලතල අයිති කරගත් අතර එය ද ප්‍රංශ ජනතාව විප්ලවයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. ජැකොබින්වරු පැරිස් ජනතාව ආයුධයක් කොට ගෙන “පොදු මතය” නාමයෙන් ඉතා දරුණු ඒකාධිපතිවාදයක් ගෙන ගිය අතර භීම සමය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මුළුමනින්ම කඩ කළ අවධියකි. ඔවුන්ගේ ඒකාධිපතිවාදය තේරුම් ගත නොහැකි සූක්ෂම එකක් විය. විප්ලවය ලෙස ඔවුන් අදහස් කළේ මින් වාසි ලැබූ මධ්‍යම පන්තියේ ලාභ ප්‍රයෝජන ආරක්ෂා කර ගැනීම වන අතර භීම සමයේ ප්‍රතිපත්ති නිදහස සහ සමානාත්මතාවය යන න්‍යාය වලට විරුද්ධ ඒවා වූයෙන් මේ වන තෙක්ම ප්‍රංශ ජනතාවට අවශ්‍ය අරමුණු විප්ලවය තුළින් ඉටු කර ගැනීමට නොහැකි වූ බව පෙනේ. මෙලෙස ප්‍රංශ විප්ලවය මේ දක්වාම විවිධ කණ්ඩායම් අතට පත් වූ අතර ඔවුන් ප්‍රංශ විප්ලවයේ මූලධර්මවලට පිටතින් ගොස් තමන්ට වරප්‍රසාද ලබාගනිමින් ඒකාධිපති පාලනයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කළ අතර ජනතාවගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු නොවූ බව පෙනේ. අවසාන වශයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට රට පවරා ජනතාව දේශපාලනයෙන් ඉවත් කිරීමට කටුයුතු කළ අතර විප්ලවය භයානක වූයේ ජනතාව අතට පත් වූ නිසාය. අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ මහජනයා දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර ජාතිවාදය පතුරුවා රට තුළ පවතින ප්‍රශ්න අමතක කොට ප්‍රංශ ජනයා විදේශ රටවල් සමඟ යුද්ධ කිරීමට පෙළඹවීය. ජනතාව දේශපාලනයෙන් ඉවත් වූ අතර මෙහි ප්‍රතිඵලය වූයේ හමුදා නායකයන් බලවත් වීමයි. 

 මෙම තත්ත්වය තුළ විවිධ පියවරයන් ඔස්සේ ඉදිරියට ආ ප්‍රංශ විප්ලවය වෙනස්ම මඟක ගමන් කිරීම මෙතැන් පටන් සිදුවිය. මධ්‍යම පාන්තිකයන් තම වරප්‍රසාද නොබලා මහජනයා විප්ලවය තුළින් බලාපොරොත්තු වූ දේ ඉටු කළේ නම් විප්ලවය හමුදා ප්‍රධානීන් අතට පත්වීම වළක්වා ගැනීමට ඉඩ තිබුණි. විදේශ යුද්ධ නිසා ජනප්‍රිය වූ හමුදා නායකයන් අතට දේශපාලන බලතල පත්වීම මෙහිදී සිදු විය.

මධ්‍යම පන්තිය බලාපොරොත්තු වූයේ තම පැළැන්තියේ ධනය, බලය ආරක්ෂා කරගැනීමයි. මෙහිදී අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනය තුළින් ද රටේ පැවති වැදගත් ප්‍රශ්න කිසිවක් නොවිසඳන ලද අතර ඔවුන් අතර ද මතභේද ඇති වී මහ ජනතාව යුද්ධයකට උසිගැන්වීම තුළින් අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනය පිළිබඳව ජනතාව අතර අප්‍රසාදයක් ඇති වූ අතර මෙම පසුබිම තුළ රටේ නායකත්වය ජනප්‍රිය හමුදා නායකයින් අතට පත්වීම සිදුවිය. විප්ලවය ආරක්ෂා කර ගැනීම අධ්‍යක්ෂක මණ්ඩලය මඟින් සිදු නොවීය. “කෝසිකාවෙන් පැමිණි තරුණ යුද්ධ භටයෙකුගේ සහ ඔහු මෙහෙය වූ කාල තුවක්කු වෙඩි ප්‍රහාරයේ ආධාරය ඇතිව සමූහාණ්ඩුව විසින් මැඬලන ලදී. “විප්ලවයේ විචිත්‍ර යුගය දැන් අවසාන වී ඇත. දැන් අප එහි ඉතිහාසය ඇරඹිය මනාය’යි බොනාට් කීය.” (ග්‍රාන්ට් සහ ෆින්ක්, 1964:291). 1799 නැපෝලියන් බලයට පත්වීමට පෙර සිටම යුද්ධ පාලනයක සේයාවන් ප්‍රංශයේ පහළ වී තිබුණි. “මම තමා විප්ලවය” යනුවෙන් ප්‍රකාශ කළ නැපෝලියන් විප්ලවය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූ අතර නැපෝලියන් ප්‍රංශ විප්ලවයට සම්බන්ධ වීමට 1789 පටන් පැවත ආ හේතු සාධක ඉවහල් විය. විප්ලවයෙන් උපන් දරුවා ලෙස හැඳින්වෙන නැපෝලියන් බොනපාට් ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයකි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පාලනය මහජනයා යුද්ධ වලට යොමු නොකළේ නම් නැපෝලියන් බිහි නොවීමට ඉඩ තිබුණි. ප්‍රංශ විප්ලවයේ ගාමුක බලවේගය වන බොනපාට් යුධකාමියෙක්, නායකයෙක් මෙන්ම සමාජ ශෝධකයෙක් ලෙසට ද හඳුන්වාදිය හැකිය. ප්‍රංශ විප්ලවය ප්‍රංශයෙන් පිටත යුරෝපයට විවෘත කරන ලද්දේ මොහුය.

ඡායාරූප-  අන්තර්ජාලයෙන්

උපුටාගැනීම අන්තර්ජාල ලිපියකින් 

මුල් ලිපියේ නිර්මාණ කරු වන අබේසිංහ මහතා ට අපගේ ප්‍රණාමය 

No comments