Headlines

පුංචි සිදුවීමකින් මහා කතන්දරයක් ගොතපු මලයාලම් චිත්‍රපටි 7ක්

මලයාලි සිනමාව මේ තරම් ආදරයක් ලබන්නේ ඒ චිත්‍රපටවල තියන සරල බව නිසා. ඒක කතා වස්තුව පටන් ගැන්මේ ඉඳන් රඟපෑම දක්වාම අදාළයි. අපේ ජීවිතවල වන පුංචි ම සිදුවීමකින් මෙහෙම කතා ගොතන්න වෙන කිසිම සිනමා කර්මාන්තයකට බෑ. ඒවයේ තියෙන්නේ සංකීර්ණ ප්ලොට්. හැබැයි මේ හත බලලා මලයාලම් සිනමාවේ සරල බව විඳගන්න. 


 1. Kali

මේ චිත්‍රපටයේ පුංචි සිදුවීමට මනුස්සයෙකුට යන පාලනය කරගන්න බැරි තරහව හඳුන්වන්න පුළුවන්. ඒ තරහා ඒ ජීවිතයට ඇති කරන බලපෑම. අන්තිමේ නොහිතපු විදියේ භයානක අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ කතාවේ ආරම්භය වගේ ම අවසානයත් ඔහු සතුව තියන තරහවෙන් ම ඉවර වෙනවා.

2. Android Kunjappan Ver 5.25

තාත්තාව බලා කියාගන්න පිට රට රස්සාවක් කරන පුතයෙක් රොබෝවක් ගේනවා. ඕක තමයි අර සරල සිදුවීම. ඒකෙන් මිනිස් ජීවිතයේ තියන සංවේදී ම තැන්, තනි වෙන හැටි, ආදරය ඕනි කරන හැටි, දෙමාපිය වගකීම්, ගංගොඩේ ඉන්න කාලකණ්ණි, අත්හැරීම වගේ සෑහෙන වපසරියක් වැහෙනවා. ඉතින් එහෙම පුංචියට පටන් ගන්න කතාව අවසන් වෙන්නේ නොහිතපු විදියේ කම්පනයක් ප්‍රේක්ෂකයන්ට දීලා. 

3. Varathan 

ඩුබායිවල ඉන්න බැඳපු ජෝඩුවක් අලුතින් ජීවිතය පටන් ගන්න කේරළයේ ගමකට යනවා. ඒක තමයි වරදන් එකේ තියන පුංචි සිදුවීම. ඒත් එක්ක ම මේ දෙන්නට සිද්ධ වෙන්නේ හරිම ඇබැද්දියක් තමයි. කතාව එක ම රිද්මයකට ගලාගෙන යනකොට සහ අපි ඒකට පොඩ්ඩක් අනුගත වෙනකොට ම අන්තිම ටිකේ නොහිතපු විදියට කතාව උඩුකුරුඤ්ඤන් ගහනවා. කතාවක් අතරමග ගලාගෙන යද්දී ඒක උඩින් තව තව කතා හදන්න පුළුවන් විස්මකර්මයන් බවට මලයාලියෝ පත් වෙනවා.

4. Trance

මේක පටන් ගන්න පුංචි සිදුවීම තමයි ජීවිතේ අරමුණක් සහ කාත් කවුරුත් නැතුව තනිවීම. ඒ තනිවීමෙන් මිනිස්සු ප්‍රයෝජනේ ගත්ත හැටි. ඊට පස්සේ ඒ ගොඩනැගීමෙන් එනවා ආගම මිනිස්සුන්ව රවටන හැටි. පැය ගාණකට මේ ෆිලුම ඇදන් යනවා. ඒ එක මොහොතක්වත් මග අරින්න බෑ. ඒ හැමදේම පටන් ගත්තේ අර පුංචි සිදුවීමෙන්.  

5. Oru Vadakkan Selfie

නමේ හැටියට ම මේ කතාවේ පුංචි සිදුවීම සෙල්ෆියක්. ඒ මත්තේ තියාගෙන කොමඩියක්, ආදරණීය කතාවක්, අභිරහසක් හොයන්න යන ගමනක් යනාදි විදියට තුන්පැත්තක් කවර් වෙනවා. වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ කියන ආදි කාලෙ කතාව වෙනුවට මලයාලි තිර පිටපත් වගේ කියන කතාව හරි යනවා. සිද්ධීන් එකිනෙක සම්බන්ධ කරන විදිය ප්‍රේක්ෂක අපිට හිතාගන්නවත් බෑ. 

6. Thottappan

මේ නමේ තේරුම කැපකරු පියා කියන එකයි. ඉතින් ඒ වගේ ම පුංචි සිදුවීම වෙන්නේ ඇත්ත ම පියා මැරුණ වෙලේ පොඩි ගෑනු ළමයෙකුට තාත්තගේ යාළුවා කැපකරු පියා වීම. එතකොට ඒ සිදුවීමෙන් හිතාගන්න පුළුවන් ඒ තාත්තා එක්ක සතුටින් ඒ දැරිවි ජීවිතය ගත කරා, නැත්නම් වෙන් වුණා වගේ සම්භාවිතාවන් දෙකක් මැද මොකක් හරි කතාවක්. ඒ වුණාට කතාවේ ගලායාම එක්ක වෙන්නේ නොහිතන ම දෙයක්. 

7. Jallikattu 


විශ්වාස කරන්න මේ කතාවේ පුංචි සිදුවීම වන්නේ මස් කරන්න ගෙනාපු මී හරකෙක් පැන යාම. එතනින් ගොඩ නගන කතාව මනුස්ස ජීවන දර්ශනය ගැන විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් කරා හා සමාන වෙනවා. කුණු තක්කාලි මීටරෙත් 93%ක රේටින්ග් එකක් හම්බ වෙන්නේ මේක ඒ තරම් ම යක්ස වැඩක් නිසා වෙන්න ඕනි. මුළු කතාව පුරා ම අර මී හරකා ව පේනවා. ඒ පස්සෙන් යන මිනිස් රැළත් පේනවා. කියන්න හදන මහා කතන්දරයත් පේනවා.


උපුටාගැනීම අන්තර්ජාලයේ පළවුණු ලිපියකිනි.

ඡායාරුප අන්තර්ජාලයෙනි 

ලිපියේ මුල් නිර්මාණකරුට ප්‍රණාමය

BLUEPLANET -


No comments