අද විදුලි කප්පාදුවක් සිදුනොවන බවට ඇමතිගෙන් ප්‍රකාශයක්
අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවය.
ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
"මම විශ්වාස කරනවා ගල්අඟුරු බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවය ගන්න පුළුවන් වෙයි. ඒ වගේම වරායේ තියෙන බාච් දෙකටත්, කැලණිතිස්සටත්, සපුගස්කන්දටත් උවමනා කරන දැවිතෙල් හා ඩීසල් ලබාගත්තාහම අපිට ප්‍රශ්නයක් නැතිව ඉදිරි කාලයේ යන්න පුළුවන්. ඒ අතරේ අපි අප්‍රේල් මාසය වෙනකල් ජලවිදුලි බල අඩුව පිරිමහ ගන්න අපි තීන්දුවක් ගත්තා, කැබිනට් මණ්ඩල අනුමැතියක් ගත්තා, පෞද්ගලික බලාගාරවලින් මාස 6කට කෙටි කාලීනව විදුලිය ලබාගන්න කටයුතු කරන්න උපදෙස් දුන්නා විදුලිබල මණ්ඩලයටත් නිලධාරිනුත් ගෙන්නලා සාකච්ඡා කරලා, 6 මාසයකට ඒ කටයුත්ත කරන්න එකඟතාවයකට ආවා. ලංකාවේ තවත් බලාගාර කිහිපයක් අක්‍රිය වෙලා තියෙනවා. ඒ අය කැමති නම් ඒ අයගෙන් හරි ඒ කටයුත්ත කරන්න 6 මාසයකට. අවුරුදු තුනකට කරන්න ගියොත් විදුලිබල මණ්ඩලයටත් රටටත් දරාගන්න බැරි පාඩුවක් බවට පත්වෙනවා."
ප්රශ්නය - විදුලි කප්පාදුවකට යන්න අවශ්‍ය නැද්ද ?
"නෑ...නෑ.."
මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගෙන ඇති ගැටලු සහ ජනන යන්ත්‍රවල පවතින තාක්ෂණික දෝෂ ඉදිරි පැය 24 තුළ යථාතත්ත්යට පත්වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නවතා දැමු කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයේ කටයුතු සහ නොරොච්චෝල බලාගාර පද්ධතියේ ජනන කටයුතු යළි යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවය.
මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී නොමැති අවස්ථාවලදී සිදුකරන විදුලිය කප්පාදු කිරිම් සම්බන්ධයෙන්ද "අද දෙරණ" ජනක රත්නායක මහතාගෙන් විමසා සිටි අතර ඔහු ඊට මෙලෙස ප්‍රතිචාර දැක්විය.
"කප්පාදුවකට යන්න වුණත් එයාලා ඉල්ලලා තිබුණේ දවල් 1.30 - 5.30 වෙනකල් එක පැයකුත් 6.30 - 9.30 වෙනකල් එක පැයකුත් වශයෙන් පැය 2ක විදුලි කප්පාදුවකට යන්න. අපේ මැදිහත් වීම මඟින් විදුලි කප්පාදුව අඩුවුණා."
source-Ada derana
No comments