Headlines

සතුටින් සිටීමට කරුණු 10ක්

මේ ලෝකයේ අප වටා කරදරකාරී දේවල්, අපව කනස්සල්ලට පත් කරන දේවල් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ සියල්ල මධ්‍යයේ අපට වැදගත් දෙයක් අහිමි වෙනවා. ඒ තමයි සතුට. ඒ නිසා අපි හිතුවා මේ ලිපියෙන් සෑම කෙනෙකුගේම මානසික සෞඛ්‍යයට ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටුකරන සතුට, ජිවිතයේ මොන ප්‍රශ්නයක් මධ්‍යයේ වුවත් ඔබට ලබා ගත හැකි ආකාරය ගැන දැනුවත් කරන්න.


01. ඔබ වෙනස් බව වටහා ගන්න.

වෙනත් කෙනෙකුට සුදුසු දේ ඔබට සුදුසු නොවෙන්න පුළුවන්. ඔබට කැමති තරම් නිදාගන්න. ඔබට වඩාත් සුදුසු යැයි ඔබ සිතන ඕනෑම දෙයක් කන්න. ඔබ කැමති ඇඳුම් අඳින්න. වෙනත් කෙනෙකු වීමට උත්සාහ නොකරන්න. ඔබේ අඩුපාඩු හෝ වෙනස්කම් පිළිගෙන ඒවා ඔබේ බලය බවට පත් කරගන්න, එමඟින් ඔබ අනෙක් අයට වඩා වෙනස් වේවි. ඔබ සිතන ආකාරයට ඔබ‍ට සුදුසුම දේ ඔබ කරන්න. අනිත් අයගේ මතයන් ගැන කනස්සලු වීම ඔබගේ අසතුටට හේතුවක් පමණයි.


02. ඔබගේ සීමාවන්ට ගරු කරන්න.

ඔබට කිරීමට අවශ්‍ය නැති දෙයකට “එපා” හෝ “බැහැ” යැයි පැවසීමත්, ඔබට අප්‍රසන්න හෝ ඔබ‍ට අනවශ්‍ය යැයි හැඟෙන සංවාදයක්‌ මගහැර යාමටත් ඔබට අයිතියක් තිබෙනවා. ඒ ආකාරයටම, තවත් කෙනෙකුව ඔවුන් කිරීමට අකමැති දෙයක්‌ කිරීමට හෝ ඇසීමට අකමැති දෙයක් ඇසීමට පොළඹවන්න එපා. ඔබ‍ට සළකනවාට කැමති ආකාරයටම අනුන්ටත් සලකන්න.


03. වැදගත් දෙයට මුල් තැන දෙන්න.

ඔබට ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල්, ඔබ මූලිකත්වය දිය යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරන්න. ඉන්පසු ඒ අනුපිළිවෙළට ක්‍රියාකරන්න. උදාහරණයක් ලෙස ඔබගේ ලයිස්තුවේ “සෞඛ්‍යය” සඳහන් වෙනවා නම් වෛද්‍යවරයකු හමුවීම හෝ ජිම් එකකට බැඳීම වැනි දෙයක් ඔබට සිදු කරන්න පුළුවන්. ලයිස්තුවේ ඔබගේ “පවුල” සඳහන් වෙනවා නම්, ඔවුන් සමඟ කාලය ගත කිරීමට, විනෝද චාරිකාවක් යාමට වෙලාව වෙන් කරන්න. කිසිදු හේතුවක් නිසා ඔබගේ ජීවිතයේ මූලිකත්වය දිය යුතු දේවල් මග නොහරින්න. ප්‍රතිපත්තියක් ලෙස එය සිදු කරන්න. කිසිදු පුද්ගලයකුගේ පෙළඹවීමක් මත මූලිකත්වයන් දෙවැනි තැනට නොදමන්න. ප්‍රතිපත්ති නොබිඳින්න.


04. ඔබටම සමාව දෙන්න.

ඔබගේ ජීවිතයේ දේවල් සිදු කරන්නේ ඔබගේ කැමැත්තටයි. මේ නිසා, ඔබ කළ යුතු දෙයක් නොකර සිටියා නම් එය ඔබගේ තීරණයක් බව වටහාගන්න. නොකළ යමක් ගැන පසුතැවීම හෝ ඒ පිළිබඳව වරදකාරී හැඟීමක් ඇතිකර ගැනීමෙන් පලක් නැහැ. අඩුම තරමින් ඔබ දැන් පාඩමක් හෝ ඉගෙන ගත් නිසා දැන් ඔබ සිදු කළ යුත්තේ ඔබටම සමාව දී ජීවිතය ඉදිරියට ගෙන යාමයි.


05. ඔබට සතුට ගෙන දෙන රැකියාවක නිරත වෙන්න.

ඔබ යම් දෙයකට දක්ෂ නම් හෝ යම් දෙයකට කැමති නම් එහි නිරත වීමට නිතරම උත්සාහ කරන්න. විශේෂයෙන්ම ඔබ කිසිදා බලාපොරොත්තු නොවුණු, ඔබ එතරම් දක්ෂ නොවන රැකියාවක නිරත වන කෙනෙක් නම් විනෝදාංශයක් ලෙස හෝ ඔබ දක්ෂ, ඔබ කැමති වැඩෙහි නිරත වීමට කාලය වෙන්කර ගන්න. මොකද අකමැත්තෙන් රැකියාවක නිරත වීමෙන් කාලයත් සමඟම ඔබගේ කායික හා මානසික සෞඛ්‍ය පිරිහීමටත් අසාර්ථකත්වයට හේතු වෙනවා.


06. ඔබගේ විනෝදාංශයට කාලය වෙන් කරන්න.

එක් එක් පුද්ගලයාට ඔවුන්ගේ මනස සැහැල්ලු කරගත හැකි විවිධ ක්‍රම තිබෙනවා. එක් පුද්ගලයකුට එය චිත්‍ර ඇඳීම හෝ සංගීතය විය හැකි අතර, තවත් පුද්ගලයකුට ඒ ව්‍යායාම වල නිරත වීම විය හැකියි. ඒ අතර තවත් පුද්ගලයන් කාර්යබහුලත්වයෙන් මිදී සැහැල්ලු වීමට මිතුරන් සමග කාලය ගත කිරීමට පෙලඹෙනවා. මේ අතරින් ඔබගේ ක්‍රමය කුමක් වුණත් ඒ සඳහා කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. වෙනත් අත්‍යවශ්‍ය නොවන දෙයක් මඟහැර හෝ ඔබගේ සිතට සතුට දෙන සැහැල්ලුව ගෙන දෙන වැඩෙහි නිරත වෙන්න.


07. අනාගතය ගැන සිතමින් පසු නොතැවී ජීවිතය විදින්න.

ජීවිතය කියන්නේ හොඳ වගේම නරක සිදුවීම්වලින් පිරුණු තැනක් බව පිළිගන්න. ඕනෑම දෙයක හොඳ සහ නරක බලපෑමක් තිබෙනවා. ඉතින් ඔබගේ ජීවිතය විඳීමට හේතුවන දෙයක් කිරීමට යාමේදී එයින් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල ගැනත් කල්තියා දුක් නොවී, ඒ අභියෝගය භාර ගන්න. එය අත්විඳින්න. එයින් ඔබ‍ට හොඳ ප්‍රතිඵලයක් ලැබුණත්, නරක ප්‍රතිඵලයක් ලැබුණත් එය ඔබගේ ජීවිතයේ තවත් එක් අත්දැකීමක් පමණක් බව සිතා ගන්න.


08. සෑම කෙනෙකුගේම පෞද්ගලිකත්වයට ගරු කරන්න.

වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය හෝ ඔවුන්ගේ තීරණ මත ඔවුන්ව මැනීමට හෝ විවේචනය කිරීමට නොයන්න. සෑම කෙනෙකුගේම පෞද්ගලික ජීවිතය ගැන තීරණ ගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙන බව මතක තබා ගන්න. තවත් පුද්ගලයෙකු වෙනුවෙන් සතුට වෙන්න. ඔවුන්ගේ තීරණවලට ගරු කරන්න. තව කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය විවේචනය කර සිත නරක අදහස් වලින් පුරවා ගන්නවාට වඩා තව කෙනෙකුගේ සතුටේදී සතුටු වීම පුරුද්දක් කරගන්න.


09. ඔබගේ අතීතය පිළිගන්න.

ඔබගේ අතීතය සැඟවීම හෝ ඒ පිළිබඳව ලැජ්ජා වීම ඔබගේ අනාගතය විනාශ කිරීමට හේතුවක් වෙනවා. අතීතයේදී කිරීමට නොහැකි වූ දෙයක් තිබෙනවා නම් දැන් හෝ එය කිරීමට පමා වැඩි නැති බව මතක තබා ගන්න. අතීතයේදී ඔබ කිරීම නිසා වැරදුණු දෙයක් තිබෙනවා නම්, අනාගතයේදී එවන් දෙයක් නොකිරීමට වගබලා ගන්න. අතීතයේ සිදු වූ දේවල් ගැන කනගාටු වීම හෝ අතීතයේ දේවල් ගැන ලැජ්ජා වී ඒවා සැඟවීම අනවශ්‍ය දෙයක්. ඔබගේ අතීතය උපේක්ෂාවෙන් බාරගන්න. වැදගත් වන්නේ වර්තමානය සහ අනාගතය සකස් කර ගැනීමයි.


10. ඔබ අවට සිටින පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙන්න.

ඔබගේ සතුට ගැන සැලකිලිමත් වීමට නම් ඔබ වඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ ඔබ අවට සිටින, ඔබ ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලයන්ය. ඔබගේ සිතට නිතර ඊර්ෂ්‍යාව හෝ කෝපය සම්බන්ධ අදහස් ඇතුළු කරන, අන් පුද්ගලයන්ගේ වැරදි ඔබ සමග කියන, නිතර අසුබවාදී අදහස් වලින් පිරුණු පුද්ගලයන් ඔබගේ ජීවිතයෙන් ඈත් කරන්න දෙවරක් සිතන්න එපා.

No comments