අද්භූත අතුරුදන්වීම් රැසක රහස් සඟවා ගත් ජපන් මුහුදේ පිහිටා ඇති මකරාගේ ත්‍රිකෝණය
ත්‍රිකෝණය තවත් බර්මියුඩාවක්ද....
◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾
බර්මියුඩා ත්‍රිකෝණය තරම්ම ලෝක ප්‍රසිද්ධ නොවුනද ජපානය ආසන්නයේ පැසිපික් සාගරයේ පිහිටා ඇති මකරාගේ ත්‍රිකෝණය නම් මුහුදු කලාපයද අද්භූත අතුරුදන්වීම් රැසක රහස් සඟවා ගත් ප්රදේශයකි.
ජපන් නාවිකයන් යාත්‍රා කිරීමට අකමැති මෙම මුහුදු කලාපය ඔවුහු "Ma no Umi" හෙවත් යක්ෂයාගේ මුහුද ලෙස හඳුන්වති. පැසිපික් සාගරයේ පිහිටා ඇති හෙයින් "පැසිපික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය" යන අන්වර්ත නාමයෙන්ද මෙම ප්‍රදේශය හඳුන්වයි.
ටෝකියෝ අගනුවර සිට කිලෝමීටර 100 ක් පමණ දුරකින් පිහිටි මියාකී දිවයින (Miyake Island) වටා පිහිටි මුහුදු ප්‍රදේශය ත්‍රිකෝණය බවට භූගෝලීය වශයෙන් නම් කර ඇතත් ත්‍රිකෝණය පිහිටි ස්ථානය නිශ්චිතව හඳුනාගෙන නොමැත. සමහර වාර්තාවලට අනුව මෙම ත්‍රිකෝණය ජපානයේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර 110 ක් පමණ ඈතින් පිහිටා තිබිය හැක.
නමුත් සමහර වාර්තාවලට අනුව ජපානයේ සිට කිලෝමීටර 1200 ක් පමණ ඈතින් පිහිටි ඊවෝ ජිමා (Iwo Jima) දිවයින ආසන්නයේ මෙම ත්‍රිකෝණය පිහිටා ඇත. එම හේතුවෙන් තවමත් මෙම මුහුදු ප්‍රදේශය සිතියම් ගත කර නොමැති නිසා මෙම ප්‍රදේශයේ විශාලත්වය ගණනය කල නොහැකි වී ඇත.
මකර ත්‍රිකෝණයේ පිහිටීම හරියටම බර්මියුඩා ත්‍රිකෝණයට ප්රතිවිරුද්ධව පිහිටා ඇති අතර ඒ හා සමානව නාවික සහ ගුවන් අනතුරු වාර්තා වන ප්රදේශයකි. එමෙන්ම ක්ෂණිකව ඇතිවන දරුණූ කාලගුණික වෙනස්විම්, අනපේක්ෂිත මිහිදුම් ආවරණ, උදම් රළ සහ කුණාටු බහුල ප්රදේශයකි.
ජපන් ජන විශ්වාසයන්ට අනුව මෙම කලාපයේ රළට යටින් බලගතු සත්වයෙක් මුහුද යට පිහිටි විශාල මාලිගයක් තුළ වාසය කරන බව කියැවේ. ලී ලුන්ග් (Li Lung) හෙවත් බටහිර මුහුදු මකර රජු නමින් හඳුන්වන මෙම සත්වයායේ මාලිගය අල්ලාගත් නැව්වලින් සරසා ඇති බව ජනප්රවාදයේ සඳහන්වේ.
මකර ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ සිදුවූ අනතුරුවල ඉතිහාසය කුබ්ලායි ඛාන් රජ සමය දක්වා දිව යයි. මොංගෝලියානු අධිරාජ්‍යයේ පස්වන ඛාන් අධිරාජයා වූ කුබ්ලායි ඛාන් විසින් ජපානයට එරෙහිව සිදු කල ආක්‍රමණයන් දෙකම (ක්‍රි.ව 1274 දී සහ ක්‍රි.ව 1281 දී) අසාර්ථක වීමට හේතුව කාර්ය මණ්ඩල සාමාජිකයන් 40000 කින් සැදුම්ලත් ඔහුගේ නාවුක යාත්‍රා සියල්ලම මෙම මුහුදු කලාපයේදි දකුණු කුණාටුවකට අසුවී විනාශයට පත් වීම නිසා බව වාර්තාවල සඳහන් වේ.
එම නිසා ජපන් වැසියන් විසින් එම කුණාටුව සතුරන්ගෙන් තම රට ආරක්ෂා කිරීම සඳහා දෙවියන් විසින් එවන ලද්දක් බවට විශ්වාස කළහ. පසුකාලීනව මේ පිලිබඳව ගවේෂණය කළ පුරා විද්‍යාඥයන් හට මුහුදු පතුලේ තිබී මොංගෝලියානු නාවුක යාත්‍රාවල නටබුන් සොයාගන්නට ලැබිණි.
මකරාගේ ත්‍රිකෝණයේ සිදුවුණු දේවල් ගැන හොඳ විවරණයක් කරන්නේ චාර්ල්ස් බර්ලිට්ස් (Charles Berlitz) නැමැති අමෙරිකානු ලේඛකයාය. හෙතෙම “The Dagon’s Triangle” නමින් කෘතියක් සම්පාදනය කර තිබේ. චාර්ල්ස් බර්ලිට්ස් මේ කෘතිය සම්පාදනය කරන්නේ මකරාගේ ත්‍රිකෝණය ආශ්රයෙන් සිදුවුණු බොහෝ දේ ගැන පර්යේෂණයක නියැලෙමිනි. කෘතියෙහි දැක්වෙන පරිදි 1952ත් 1954ත් අතර කාලයේදී යාත්‍රා පහක ගමන් ගත් හමුදා සාමාජිකයන් 700ක් මේ ත්‍රිකෝණයට අයත් පෙදෙසේදී අතුරුදහන්ව ඇත. යාත්‍රා පහටත් භටයන් 700ටත් කුමක් සිදුවීද යන්න ගැන සොයා බලන්නට ජපාන රජය ඒ කාලයේදීම වාගේ තවත් යාත්‍රාවක් යවා තිබේ. යවන ලද ඒ යාත්‍රාවේ විද්‍යාඥයෝ සිය දෙනෙකු සිටි බව චාර්ල්ස් බර්ලිට්ස්ගේ සටහනේ ඇත.
විද්‍යඥයන් සිය දෙනෙකු රැගෙන අභිරහස් ලෙස මුහුද පත්ලේ සඟව ගියේයැයි කියා චාර්ල්ස් බර්ලිට්ස් දක්වන නෞකාව, කයියෝ මාරු – 5 නෞකාව බව අමෙරිකා ලේඛක ලෝරන්ස් ඩේවිඩ් ලැරී කුෂේ පවසයි. කුෂේ කියන ආකාරයට නෞකාව ගිලී ඇත්තේ පුද්ගලයන් තිස් එක් දෙනෙකු රැගෙන නාවුක කටයුත්තක නියැලෙමින් සිටියදීය. සිද්ධිය සිදුව තිබෙන්නේ 1954 වසරේ සැප්තැම්බර් 24වැනිදා බවත් කුෂේ සඳහන් කරයි. කොහොම වුණත් යාත්‍රාව අතුරුදහන් වීමෙන් පරීක්ෂණ කටයුතු අඩාල වූ බව නම් අසත්‍යක් නොවේ. කයියෝ මාරු – පහ යාත්‍රාව අතුරුදහන්ව යාමත් සමඟම මකරාගේ ත්‍රිකෝණය වෙත ජපාන බළධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්ට තිබේ. මකරාගේ ත්‍රිකෝණය ආශ්රයෙන් ක්‍රියාත්මක වන අද්භූත තත්ත්වය සැලකිල්ලට ගෙන එකී මුහුදු කලාපය අන්තරාදායක පෙදෙසක් ලෙස නම් කරන්නට ජපාන බළධාරීහු පසුව පියවර ගත්හ. නමුත්, ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන අද්භූත සිද්ධි එතැනින් කෙළවර වුණේ නැත.
ඒ වගේම මකරාගේ ත්‍රිකෝණය තුළදී යාත්‍රා විපතට පත්වුණු පළමු අවස්ථාවත් මෙය නොවන වග සිහි කැඳවිය යුතුය. චාර්ල්ස් බර්ලිට්ස්ගේ කෘතියෙහි දැක්වෙන අන්දමට කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා, ටොන් ලක්ෂ දෙකක් තරම් බරැති ටැංකි සහිත යාත්‍රා, අමෙරිකා සහ ජපාන යුධ නවුකා සහ ගුවන් යානා, සෝවියට් නෂ්ටික මිසයිල සබ්මැරීන ආදිය පවා මකරාගේ ත්‍රිකෝණයේදී එක්කෝ අනතුරට පත්ව තිබේ. නැත්නම් අතුරුදහන්ව තිබේ.
ඒ වගේම එකී ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා මුහුදු යාත්‍රාවල සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවන අවස්ථා ඇති බවට ඇතැම් නැවියන් පැමිණිලි කර තිබේ. ප්‍රදේශය ඇසුරෙහි චුම්බක ක්ෂේත්රවල අසාමාන්‍යතා දකින්නට පුළුවන් බවට පැමිණිලි කරන නැවියන්ද එමටය. තවත් සමහර අවස්ථාවලදී ප්‍රදේශය තුළ දීප්තිමත් එළි විහිදෙන බව මුහුදේ යන එන අය දැක ඇත. මකරාගේ ත්‍රිකෝණය ලෙස නම් කර ඇති මුහුදු කොටසේ විවිධ වස්තූන් පාවෙමින් තිබෙනු දුටු අය ගැනත් වාර්තා වේ. විවිධ වස්තූන් එහි පාවෙමින් තිබෙනු දුටු අය ගැන දොළොස් වැනි සියවසේ සිටම වාර්තා තිබෙන බව චාර්ල්ස් බර්ලිට්ස් සිය කෘතියෙන් පෙන්වා දෙයි.
මකරාගේ ත්‍රිකෝණයට යටත් පෙදෙසේ කාලගුණ තත්ත්වය අසුරු සැණෙකින් වෙනස්වන සුළු බව සමහරු පවසති. හිටි අඩියේම වාගේ මේ මුහුදු කලාපයේ රළ ඉහළ නඟින අවස්ථා ගැන සඳහන් වේ. දිය සුළි, ඉතා ඝන මීදුම් සහිත තත්ත්ව වගේම කුණාටුත් ඇසුරු සැණෙකින් ඇතිවන බව ඇතැම්හු පවසති. වෙනත් අද්භූත දෙයක් සිදු නොවුණත් මේ කියන විධියේ හදිසි කාලගුණ වෙනස්වීම් වුව ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා යාත්‍රාවලට අනතුරු ඇති කරන්නට හේතුවන බව නැවියෝ පවසති. හදිසියේ ඇතිවන කාලගුණ තත්ත්ව නෞකාවලට අනතුරු ඇති කරන්නට හේතුවක් නම් එවැනි කාලගුණ විපර්යාස හදිසියේ ඇතිවන්නේ ඇයි? කෙසේද? කුමන වෙලාවලටද? හරියටම කොතැනද? යන ප්‍රශ්නවලට පිළිතුරු තිබිය යුතුයි. ඇත්තටම කිවහොත් එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්රවල විද්‍යාඥයන් අදටත් බොහෝ නිශ්ශබ්දය. විද්‍යාව මෙපමණටම දියුණු යුගයක මකරාගේ ත්‍රිකෝණය සම්බන්ධයෙන් එවැනි නිහඬතාවක් බලාපොරොත්තු වන්නට බැරි තරම්ය.
ජපානය අල්ලා ගැනීමට පැමිණෙමින් සිටි කුබ්ලායි ඛාන් (Kublai Khan) සහ පිරිසෙන් 1281 වසරේදී ජපනුන් බේරී ඇත්තේද මකරාගේ ත්‍රිකෝණය නිසාය. කුබ්ලායි ඛාන්ට අයත් එක් ලක්ෂ හතළිස් දහසක තරමේ සේනාවක් ජපානයට ඇතුළුවන්නට එවර ගමන් අරඹා තිබේ. මේ පිරිසෙන් හතලිස් දහසක් මසාන්හි සිට ගමන් කර තිබෙන්නේ යාත්‍රා නව සියයකය. පිරිසට, කොරියා, චීන සහ මොන්ගෝලියා භට පිරිස් අයත් වූ බව ඉතිහාසයේ දැක්වේ. ලක්ෂයක අනෙක් පිරිස ගමන් කර තිබෙන්නේ දකුණුදිග චීනයෙනි. ඔවුන් යාත්‍රා 3500ක ගමන් ගෙන තිබේ. 1281 වසරේ ජුනි 23වැනිදා වනවිට දෙපිරිස එකට හමුවීමට නියමිතව තිබිණ. නමුත් චීනයේ සිට ගමන් ගත් නෞකා තුන්දහස් පන්සියය එදින නියමිත ස්ථානයට නොපැමිණි බව ඉතිහාසයේ දැක්වේ. ඔවුන්ගේ ගමන් මඟ යටකී ත්‍රිකෝණය හරහා වැටී තිබී ඇත. අඩු තරමින් එකී නෞකා තුන්දහස් පන්සියයට සිදු වූයේ කුමක්ද යන්නවත් සොයා ගන්නට බැරිව ගිය බවක් සටහන්ව ඇත.
මේ අන්දමට අතුරුදන් වුණු මුහුදු යාත්‍රා ගණන අතිවිශාලය. ඒවා විනාශයට පත් වූ බව සනාත කරන්නට පුළුවන් තරමේ සලකුණක්වත් සමහර අවස්ථාවලදී සොයාගන්නට බැරිවිණ. ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මකරාගේ ත්‍රිකෝණය තිබෙන ප්‍රදේශයේ මුහුද පතුළත මීතේන් හයිඩ්රේට් සහිත සරියක් පවතින බවය. රසායනිකයෙන් ඇතිවන වායුවක් මුහුද මතුපිට ප්‍රදේශවලට ළඟා වන බව කියැවේ. එහෙම මතුවන වායුව මුහුද මතුපිටට වේගයෙන් විහිදී, මුහුද මතුපිට ගමන් ගනිමින් ඇති නෞකා ගිල්වා දමන බව මේ මතයෙහි සඳහන්ව ඇත. එවැනි අවස්ථාවලදී මුහුදු යාත්‍රා සැණෙකින් ගිලී යන්නේ ඒවා ගිලී ගිය බවට කිසිදු සලකුණක්වත් නොතබමින් බවත් දැක්වේ. මකරාගේ ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පතුළත ඉතා බිහිසුනු ගිනිකඳු සක්රියවීම් සිදුවන බව තවත් අය පවසති. ඇතැම් පිරිස් අනුමාන කරන්නේ මෙකී ස්ථානය හරහා වෙනත් විශ්වයකට හෝ කළු කුහරයකට හෝ මඟක් ඇතැයි කියාය. නිරයට ඇති ද්වාර හත්තෙන් එකක් මකරාගේ ත්‍රිකෝණය හරහා වැටී තිබෙන බව සාමාන්‍යය ජනයා පවසන්නේ එකී අනුමානය පදනම් කරගෙනයි. කොහොම වුණත් මේ ප්‍රදේශය තුළ සිදුවන දෙය විද්‍යාත්මකව විස්තර කරන්නට මිනිසාට තවමත් බැරිව ගොස් ඇත. ඒ හිදැස නිසා පිළියමක් යොදන්නට නොහැකිවූත්, හරියාකාරව විස්තර කරන්නට බැරිවූත්, බොහෝ දේ මකරාගේ ත්‍රිකෝණය ආශ්රයෙන් අදටත් සිදුවෙමින් තිබේ.
මෙම සිදුවීවලින් පසු ජපාන රජය විසින් මෙම මුහුදු කලාපය මුහුදු ගමන් සඳහා ඉතා අනතුරුදායක ප්‍රදේශයක් බවට නම් කරන ලද අතර, මෙම ප්‍රදේශයේ සිදු කල ගවේෂණයන්ද අත් හැර දමන ලදී.
මකර ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳව විවිධ මත සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් වී ඇතත් තවමත් නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. එබැවින් මකර ත්‍රිකෝණයත් ලොව ඇති තවත් එක් නොවිසඳුණු අභිරහසකි.
ත්‍රිකෝණය
විද්‍යාව සහ තාක්ෂණය
October 26, 2020
ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s Triangle) යි.
ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.
ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,
* 1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.
* 1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.
* 1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.
* 1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.
* 1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.
දැක්විය හැකිය.
මෙම ප්‍රදේශය තුළ සිදු වී ඇති අතුරුදන් වීම් සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානය වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහේ මේ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් හා මුහුදු ගමන් රක්ෂණය කිරීම අත්හිටුවා තිබේ. බර්මියුඩාවේ විශේෂත්වය වන්නේ ගුවන් යානා හා නැව් අතුරුදහන් වීම නොව එම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීම යි. මෙතෙක් සිදු වූ සෑම සිදුවීමක් සඳහාම ඉදිරිපත් කෙරී ඇත්තේ යම් යම් අනුමාන කිරීම් පමණි. මේ අනුමානයන් ද එකිනෙකට පරස්පර විරෝධී ය. තවමත් ඒ ඒ මත දරන විද්‍යාඥයෝ ඒ ඒ පිල් වලට බෙදී වාද කර ගනිති. මෙවැනි ප්‍රසිද්ධ මත කිහිපයක් පහත සඳහන් වේ.
01. සජල මීතේන් සිද්ධාන්තය (Methane Gas Hydrates Theory)
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.
02. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය (Gulf Stream Theory)
ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.
03. රෝග් දිය රැළි සිද්ධාන්තය (Rogue Waves Theory)
1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි.
ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
04. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය (Hurricane Storm Theory)
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.
05. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය (Electromagnetic Aberration Theory)
පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.
06. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය (Atlantis Abduction Theory)
මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. (ඇට්ලාන්ටිස් නගරය පිළිබඳ ලිපියක් පසුව පළ වනු ඇත.) මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති.
07. කාල-අවකාශ තරණ සිද්ධාන්තය (Space-time Continuum Theory)
නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස “පණු කුහර” (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.
සිවිල් ගුවන් නියමුවරියක වූ කැරොලයින් කැෂියෝ උක්ත දින තම ගුවන් යානාව අහසට නැංවූයේ Grand Turk දූපත වෙත යාමටය. බහමාස් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන මෙම දූපත අධික ජනගහණයකින් යුක්ත වූ අතර මෙය සතුව විශාල ගුවන් තොටුපළක්ද පැවතිණි. ගුවන්ගත වී පැයකට පමණ පසු පාලක මැදිරිය ඇමතූ කැරොලයින්, තමන් මේ වනවිට විශාල හා ජනශූන්‍ය දූපතකට ඉහළින් පියාසර කරන බවත්, Grand Turk දූපත සොයා ගත නොහැකි බවත් දැන්වූවාය. ඇගෙන් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව තොරතුරු ලබා ගත් පාලක මැදිරියේ නිළධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ. අක්ෂාංශ හා දේශාංශ අනුව කැරොලයින් ගමන් කරමින් සිටියේ Grand Turk දූපතට ඉහළ අහසේය! එහෙත් ඇය පුන පුනා පැවසුවේ මේ නම් Grand Turk නොවන බවයි. මේ දූපතේ ගුවන් තොටුපළක් තියා කුඩා ගොඩනැගිල්ලක්වත් දක්නට නොමැති බවත්, මුළු දූපතම ඝන කැලයකින් වැසී ඇති බවත් දැනුම් දුන් කැරොලයින් ගුවන් යානය ආපසු හරවා ගෙන පාලක මැදිරිය වෙත පැමිණෙන්නේ යැයි කීවද ඇය යළි කිසිදු දිනෙක නැවත පැමිණියේ නැත! එසේ නම් ඇයට සිදු වූයේ කුමක්ද? කැරොලයින්ගේ ගුවන් යානය ළඟා වූයේ අතීතයේ තිබුණු, මිනිස් වාසයෙන් තොර වූ Grand Turk දූපතටද!!??
08. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය (Extraterrestrial Interruption Theory)
මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ගෙන හැර දක්වති.
* බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.
* අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.
* බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම (රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.)
පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරති.
09. හඳුනා නොගත් අති දැවැන්ත සත්වයෙක්
ඉහත සඳහන් මත වලට අමතරව, බර්මියුඩා මුහුදු කලාපයේ වාසය කරන, මෙතෙක් හඳුනා නොගත් අති දැවැන්ත සත්වයෙක්(ලොක්නෙස් විලේ නෙසී වැනි) නිසා ගුවන් යානා හා නැව් අනතුරට ලක් වනු විය හැකි බවටද මත පළ කෙරේ.
කෙසේ වුවද මේ සියල්ලම හුදෙක් අනුමාන කිරීම් ය. යම් දිනෙක බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළිදරව් වන තුරු කළ හැකි එකම දෙය වනුයේ ඉහත සඳහන් මත වලින් වඩාත් නිවැරදි යැයි තමන්ට හැඟෙන මතය භාර ගැනීම පමණි.
No comments